Search This Blog

Thursday, July 4, 2013

.රථ වාහන පාලක

1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.


9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.


10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.



11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

Friday, December 2, 2011

2003 දෙසැම්බර් 12 මතකද?

අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි
අපවත් වුණාද?
අපවත් කළාද?


අප වෙනුවෙන්, අපගේ ජාතිය වෙනුවෙන් නොබියව අදීනව හඬ නැගුවේ උන් වහන්සේය.
සිංහල බෞද්ධකම වෙනුවෙන් මෙරට පමණක් නොව දේශ දේශාන්තරවල පවා නොපැකිලව,නොපසුබටව හඬනැගුවේ උන් වහන්සේය.
අප සංඝ සමාජයේ සිංහල බෞද්ධ ලකුණ උන් වහන්සේය.
මේ නිසාම උන් වහන්සේට මුහුණ දීමට සිදු වූ ගැහැට හා කම්කටොළු බොහෝ ය.

Monday, November 28, 2011

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

1. සුප්ට්ඨිත්ත පාද – සම්මා සම්බුද්ධ සිරි පතුළෙහි සාමාන්‍ය මිනිසුන්ගේ මෙන් ඉදිරි පස ඇඟිලි සහ පසු පස විළුඹ අතර, ඇතුළට නෙරීමක් නැත..උන් වහන්සේගේ පාදය සමව බිම ස්පර්ෂ කරයි…
2. හෙට්ඨාපාදතලෙසු ච්ක්ඛාණි – “පාද තලෙසු” යනු යටි පතුළයි..බුදු සිරි පතුළෙහි චක්‍රයක සළකුණක් සහිතය..මෙය යශෝධරාවන් රහල් කුමරු අරඹයා බුදු ගුණ වැනුමට ගැයූ “ඡත්ත වරන්ඛිත රක්ත සුපාදෝ” යන්නෙන්ද නිරූපණය කෙරෙයි…මේ චක්‍රය සමඟ සිරි පාද පත්මයෙහි තවත් “මේරු, චක්ඛවාළ සිඛරී, මිග,සූරෝ, ධජෝ” යනාදි සඥෙ‍යෛය ලක්ෂණ 108ක් ඇත…
3.ආයතපණ්හි – දික්වූ විළුඹ සහ වළළුකර
4.දීඝංඟුලි – දිඟු ඇඟිලි
5.මුදු තළුනභත්ථ පාද – “තළු” යනු පත්ලයි..සිරිපා පත්ල ඉතා මට සිළුටු වේ
6.ජාල හත්ථ පාද – බුදු හිමියන්ගේ අත්පා වල ඇඟිලි (මහපටැඟිලි හැර ) සමාන දිගින් සහ සමාන ඇඟිලි පුරුක් වලින් සමන්විතය..
7. උස්සඬ්කපාදතා – වළළු කර උස්ය
8. එණිජඬ්ගා – මුවෙකුගේ කෙණ්ඩා බඳු සෘජු, නොපළුදු කෙණ්ඩා ඇත්තේය…
9. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති – සෘජුව සිට ගත් කළ සිය දෙ අතින්, දෙදන නොනැමීම ඇල්විය හැක..
10. කොසෝහිත වත්ථගුය්හ – කෝෂයක් පරිද්දෙන් වැසුනු පුරිස් ලකුණකි
11. සුවණ්ණවණ්ණ – රන් වන් පැහැ සිරුර
12. එකෙකලොම – බුද්ධ ශරීරයෙහි සමෙහි එක් රෝම කූපයක ඇත්තේ එක් රෝම ධාතුවක් පමණකි…
13. උද්දග්ගලොම – තථාගතයන් වහන්සේ ගේ සිරසෙහි කේශ ධාතු දකුණට නැමී ඇති “ඌර්ණ රෝම” ලක්ෂණයෙහි පිහිටයි
14. බ‍්‍රහ්මුජ්ජුගත්ත – පහන් ටැඹක් සේ උස්වූ සෘජු, කැපී පෙනෙන නායක ශරීරයකි..
15. සත්තුස්සද – තිලෝගුරු ශරීරයෙහි සවිමත්, පැහැපත් මස් ගොබයන් දෑතෙහිද, දෙපයේද ඇතියෙන් මහා ප්‍රතාපයක් ගෙන දෙයි..
16. සීහපුබ්බද්ධකාය – “පුබ්බද්ධ” යනු “පූර්ව අර්ධ” යන්නයි..බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය කේසර සිංහයෙකුගේ මෙන් තේජ සම්පන්නය…
17. චිතන්තරංස – පුළුල් වූ සම්බුද්ධ උරතළයන් අතර කිසිදු ඇතුලට නෙරීමක් නැත…( සාමාන්‍ය පිරිමියෙකුගේ උරහිස් පතු සහ ගෙල අතර අස්ථි අතුරින් මාංශ ඇතුළට නෙරා යයි..)
18. නිග්‍රෝධ පරිමණ්ඩල – නීග්‍රෝධ වෘක්ෂය වූ කලී පුරාතන දඹදිව්හි කිසිදු පැත්තකට බර වීමක් හෝ ස්ථුල වීමක් නොමැති, කෙළින් සෘජුව අහසට වැඩෙන යෝධ රුකක් ලෙස ප්‍රකට වූවකි..සම්මා සම්බුද්ධ ශ්‍රී ශරීරයද එකී වෘක්ෂය මෙන් අභිමානී වූ සිරුරකි..
19. සමවත්තක්ඛන්ධ – සෘජු, සමාන වක්‍රව වූ ගෙල ප්‍රදේශය
20. රසග්ගසග්ගී ජ්ව්හ – ආහාර වලින් සමාන රස දෙන සම්බුද්ධ රන් දිව
21. සීහහනු – සවිමත්, සිංහයෙකුගේ බඳු, කැපී පෙනෙන හනු සහ හකු පාඩා
22. චත්තාලීස දන්ත – සාමාන්‍ය මිනිසෙකුගෙ දන්ත හෙවත් දත් 32 කි…ශ්‍රී සම්බුද්ධ මුවෙහි සිරි දළදාවෝ 40 ක් පිහිටති..
23. සමදන්ත – දත් බෙහෙවින් සමාන පෙනුමෙන් යුතුය
24. අවිවරදන්ත – සිරි දළදාවෝ මත හෝ ඒවා අතරෙහි කිසිදු විවරයක් නැත..
25. සුසුක්කදාඨ – “සුසුක්ක” යනු “සුදෝ සුදු” යන්නය..බුද්ධ සිරි දළදා ඉමහත් සුදු පැහැයෙන් දිලෙයි..
26. පහූත ජිව්හො – විශ්වයටම අමා වැසි වැස්වූ රන් දිව ඉතා පළල්ය…සවිමත්ය…
27. බ‍්‍රහ්මස්වර – “බ්‍රහ්ම” යන්න පාලියෙහි “අසමසම” යන්නට යෙදේ…සම්මා සම්බුද්ධ ධර්ම ස්වරය අසම සමය…
28. අභිනීලනෙත්ත – ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන, තියුණු සම්බුද්ධ නේත්‍ර සඟල
29. ගොපමුඛ – අළුත උපන් ගෝ පෝතකයෙකුගේ මුවෙහි ඇති රත හා සමාන රතු ඇස් පිල්ලම්
30. උණ්ණා – ඌර්ණ රෝමය
31. උණ්හීසසීස – දිය බුබුළක් මෙන් මනා හැඩයෙන් යුතු සම්බුදු සිරස
32. සුඛුමච්ඡවි – ඉතා මුදු මොළොක් සම


දීඝ නිකායේ “ලක්ඛණ” සූත්‍රය ඇසුරෙනි

Sunday, November 20, 2011

රටයකුම හෙවත් රිද්දියාගය








හැඳින්වීම

දේශීය ශාන්තිකර්ම සම්ප්‍රදායේ පහතරට ප්‍රදේශයට ආවේණික ප්‍රධාන ශාන්තිකර්මයකි.මාතර හා බෙන්තර ප්‍රදේශ මුල් කරගෙන පැවැත්වෙයි.විවාහක දරුවන් අපේක්ෂිත කාන්තාවන් උදෙසා යකුන් අරභයා පැවැත්වෙන ශාන්තිකර්මයකි.

රටයකුම ශාන්තිකර්මය සිංහල නර්තන සම්ප්‍රදායේ භාව පූර්ණ නෘත්‍ය ලක්ෂණ අන්තර්ගත එකම ශාන්තිකර්මය ලෙස ද(කෝට්ටගොඩ,1995)ගර්භ සංරක්ෂණ ශාන්ති කර්මයක් ලෙස ද හඳුන්වා ඇත.(කාරියවසම්,1976,41 පිටුව)

ශ්රී ලංකාවේ පහතරට ප්රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්රධාන යාතුකර්මයක් වන ගම්මඩුව ශාන්තිකර්මය සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්රීකත්වය අරමුණු කරගත් ප්රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස 'දෙවොල් මඩුව' නමින් රුවන්වැල්ල ප්රදේශයේ දී ආරම්භ වී මාතර, බෙන්තර සහ රයිගම යන ප්රධාන නර්තන සම්ප්රදායයන් තුනෙන් සමන්විත පහතරට නර්තන සම්ප්රදායේ ප්රධාන ශාන්තිකර්මය බවට පත්ව ඇත. ශ්රී ලංකාවේ උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්රධාන නර්තන සම්ප්රදායයන් තුනක් පවතින අතර, පහතරට ප්රදේශ ආශ්රිතව ව්යාප්ත වී ඇත්තේ පහතරට නර්තන සම්ප්රදායයි.


පැවැත්වීමේ අරමුණු

විවාහක,දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා ගැනීම
දරු ගැබ් පිළිසි‍‍ඳෙන මුත් අතර මැද දරු ගැබ විනාශ වන කාන්තාවන්ගේ දරු ගැබ් ආරක්ෂා කර ගැනීම
පිළිසිඳුණු දරු ගැබ ආරක්ෂා කර ගැනීමට හා දරු උපත යෙහෙන් සිදු කර ගැනීම


උපත් කථාව

රටයකුම හෙවත් රිද්දියාගය ආරම්භ වී ඇත්තේ දරු දොළ උපතක් මුල් කර ගෙනය.එක් කථා පුවතකට අනුව මහාමේරුව පළාගෙන හටගත් ගිනි පුපුරු හතකින් මුදුන්මාල,ධර්මපාල,ගිරිමේඛල,ඕන්කාර,රිද්දි,කොණ්ඩමාල,රණකපාල යන බිසෝවරු සත්දෙනෙක් උපන්හ.මොවුහු සොළොස් වයස පසු කළ මුත් දරුවන් නොලද බැවින් දරු උපත් අපේක්ෂාවෙන් වේදනාවෙන් කල් ගෙවූහ.දීපංකර බුදුන්ට නොඉඳුල් සලුවක් වියා පූජා කිරීමෙන් දරු සම්පත් ලැබෙන බව සිහිනෙන් දැක, එය ඉටු කර ගැනීමට කටයුතු කළහ.නේරංජනා නදියට ගොස් හිස නානු ගා ස්නානය කොට සලුපිළි හා ආභරණ පැළඳ, දලු බුලත් අනුභව කොට, නැව් නැග ලක්දිව උසන්ගොඩ ප්‍ර‍‍දේශයට ගොඩ බැස්සහ.එහිදී බිසෝවරු හේනක් කොටා, කපු වපුරා, අස්වැන්න ලබා සලුවක් වියා දීපංකර බුදුන්ට පූජා කළහ.එම අනුහසින් දරු ගැබ් පහළ වූ බව කියවෙයි.මෙම කථා පුවත ශාන්තිකර්මයේ දොළහ පෙළපාලිය හා කපුයක්කාරිය යන අංග ඔස්සේ නිරූපණය කෙරේ.

ඒ හා සම්බන්ධ වූ තවත් කථා පුවතකට අනුව දරු ගැබ් පහළ වීමෙන් පසු ආභරණ ඇල්ලට දිය නෑමට යාමේදී රොඩියෙකු ස්පර්ශ වීම නිසා බිසෝවරුන් ඇල්ලෙන් පැන මිය ගොස් යක්ෂණියන් වී උපත ලද බව කියවෙයි.දරුවන් කෙ‍රේ ආසාවෙන් මිය ගිය බැවින් කාන්තාවන්ට වඳ බව ඇති කෙරෙන බවත් සඳහන් වේ.

රටයකුම හා සම්බන්ධ පුරාවෘත්ත තවත් ආකාරයකින් ජනශැතියේ එයි.මහාමේරුව හෙවත් රංගිරි කූටයේ හට ගත් ගින්නකින් රිද්දි බිසව උපන්නාය.වැඩිවියට පත් ඇය මහා බ්‍රහ්මයාගේ අඹුව බවට පත්වූ අතර දූවරුන් සත් දෙනෙකු ලැබුවාය.පසුව මහා බ්‍රහ්මයා ඇය අත්හැර දමා ගියෙන් තමා සමග උපන් අවශේෂ යකුන් සමග එක්ව වෙසමුණි රජුගේ පිරිසට එක් වූවාය.එහිදී ඇය වෙසමුණි රජුගෙන් වරමක් ගෙන කලු කුමාරයා සමග එක්ව කාන්තාවන්ට හා ළදරුවන්ට රෝග පමුණුවමින් දොළ පිදේනි ලැබීමට යොමු විය.ඔවුහු වෙසමුණි රජුගේ අණ නොසලකා කටයුතු කළ හෙයින් අසුරගිරි පර්වතයට නෙරපා හැර දොළොස් වසරක් දුක් වින්ඳහ.පසුව දීපංකර බුදුන්ගන් වරම් ගෙන කාන්තාවන් වඳ බවට පත් කර දොළ පිදේනි ගැනීමට ‍යොමු වූ බව කියවේ.

රටයකුම පැවැත්වීමට පෙර අදාළ ආතුර කාන්තාව උදෙසා කලහ පේ කිරීම,ඇප නූල් බැඳීම යන චාරිත්‍ර ඉටු කෙරේ.සඳුදා, බදාදා යන දෙදිනයන්හි නොපවත්වයි.සැන්දෑ යාමයේ පටන් පසුදා පහන් වනතුරු තුන් සමයමකින් හෝ ඉරමුදුන් සමයම ද ඇතුලු ව සමයම් හතරක පුද පෙත්වලින් සමන්විත වේ.


යොදා ගන්නා සැරසිලි

නව මල්පාය හෙවත් මල් මඩුව
කුමාර වීදිය
කුමාර පිදේනිය
කත්තිරික්ක හතරක්
සූනියම් වීදිය
කපාල කූඩුව
දැර හැව
නව මාලේ මල් බලිය
කලු කුමාර බලිය
දොළහ පෙළපාලිය හා කපුයක්කාරිය සඳහා අවශ්‍ය රංග භාණ්ඩ


පුද ලබන යක්කු

කලු යකා
කලු කුමාර යකා
රට යක්කු
රොඩී යක්කු
තොට යකා
රීරි යකා
මහසෝන් බකා
බිල්ලේ යකා
සූනියම් යකා


පූජා විධි රටාව

මාතර පළාත

නානුමුරය -හිස තෙල් ගෑම

ආතුරයා පන්දලට කැඳවීම
සූනියම් දේවතාවාට ආරාධනා කර සූනියම් වීදිය කැප කිරීම
කලු, තොටුපල, රීරි, සූනියම් සහ බිල්ලේ යකුන්ට පිදේනි කැප කිරීම
කුමාර පිදේනිය කැප කිරීම
කඩතුරා ඉවත් කොට කුමාර සමයම නැටීම
හත් පද නැටීම
හැන්දෑ සමයමේ යකුන්ගේ පිදේනි පාවා දීම
පැදුරේ දැපවිල්ල
වීදි කැප කර රිද්දි සමයම ඇරඹීම
විලක්කු ගසා වියන් රෙද්ද කැරකීම
දුම්මල කීල ගසා ගිනි සිසිල කිරීම
දුම්මල කන්නලව්ව, විලක්කු පද, මහා කවි තාලය, අඩව් ඇල්ලීම, දුම්මල පදය, බටගහේ පදය, ඊ ගහේ පදය, වටයක් පදය නැටීම
පිට වීදි කැප කිරීම හා මහා යාදින්න (මහ තේ වතුර)
හීන් තාලම් ආරම්භ කර කලාසම් පද, මල් පද, දේව පද, පස්ගම යකුන් පද නැටීම
පෙළපාලි දැක්වීම හා කොතලේ නැටවීම
නව මාලයේ පිදේනිය ඔප්පු කිරීම
නානු මුරය
කපුයක්කාරිය
දලු මුර ඔප්පු කිරීම
දරු නැළවීම
චාමර පද නැටීම
රිද්දි පිදේනිය කැප කිරීම
කුල්ලේ පිදේනිය කැප කිරීම
සන්නි පිදේනි ඔප්පු දීම, පාලි නැටීම, සන්නි නැටීම
මහා කලු කුමාර සමයම නැටීම හා අවතාර ඉගිල්ලීම
බලිය පාවා දීම
පින් බෙර ගැසීම, ආරක්ෂා නූල් බැඳීම

බෙන්තර පළාත

කපුයක්කාරිය -සලුව විවීම

ආතුරයා පන්දලට කැඳවීම
නාථ, විෂ්ණු, සමන්, කතරගම හා පත්තිනි දෙවියන්ට මල් යහන් නැටීම
හැන්දෑ සමයමේ පුද ලබන කලු,රීරි,සූනියම් සහ සන්නි යකුන්ට දොළ දීම
කුමාර පිදේනිය කැප කිරීම
යකුන් නැටීම හා පිදේනි පාවා දීම
පැදුරේ දැපවිල්ල හා මරුවාගේ පැමිණීම
වීදි කැප කිරීම හා මහ සමයම ආරම්භ කිරීම
විලක්කු ගැසීම හා විලක්කු පද නැටීම
වියන් රෙද්ද නැටීම හා පන්දම් කීල ගැසීම
ගිනි සිසිල
මල්ලව අඩව්ව නැටීම
නව මාලය ඔප්පු කිරීම
දලු මුර ඔප්පු කිරීම
චාමර පද නැටීම
දොළහ පෙළපාලිය
කපුයක්කාරිය
දරු නැළවීම
දෙවොල් කුරුම්බර පිදේනිය කැප කිරීම
කුමාර සමයම නැටීම
කළස බිඳීම
ගෙවල් නිවීම
බලිය පාවා දීම
පින් බෙර ගැසීම, සෙත් කිරීම හා ආරක්ෂා කිරීම

මූලාශ්‍ර


කාරියවසම් තිස්ස රටයකුම් යාග විග්‍රහය, 1995: කොළඹ, රුහුණු පොත් ප්‍රකාශකයෝ
කෝට්ටගොඩ ජයසේන පහතරට ශාන්කර්ම සාහිත්‍යය, 1995 : කොළඹ, එස්. ‍ගොඩගේ ප්‍රකාශකයෝ
කෝට්ටගොඩ ජයසේන කලු කුමාරයා පුද ලබන දාරක වත් පිළිවෙත්, 1998 : බොරලැස්ගමුව, ජේ.කේ. පබ්ලිකේෂන්ස්

Thursday, September 22, 2011

දස මහා යෝධයෝ

දස මහා යෝධයෝ

ඇමරිකාවේ අයට මෙන් අපට Comic Books වල එන Superhero මනංකල්පිත චරිත නැති මුත් සැබෑ වීරයෝ අපගේ ඉතිහාසය තුළ සිටිති.

දුටුගැමුණු රජතුමාගේ සේනාවේ රණශූරයන් අතර ප්‍රධාන වන්නේ 'දස මහා යෝධයෝ' ලෙස හැඳින්වෙන රණශූරයන් දස දෙනාය. මේ වීරයන් ගැන නොයෙකුත් ජනප්‍රවාද ඇත. මොවුන් කාය බලයෙන් මෙන්ම ආධ්‍යාත්මික ශක්තියෙන්ද උසස් අය ලෙස දක්වා තිබේ.

Superherosලා සම්බන්ධ කථා වලදී ඔවුන්ට ඒ ආකාරයේ සුවිශේෂී බලයක් ලැබීම පිටසක්වල බලපෑම්, කොස්මික් කිරණ, ජාන විකෘති ආදී බාහිර හේතු වලට ඌනනය කර ඇති බව පෙනේ.

නමුත් සිංහල බෞද්ධ සම්ප්‍රදායේ වීරයන්ට කාය ශක්තිය ලැබීමට හේතු වන්නේ කුසල කර්ම ශක්තිය විනා බාහිර හේතු නොවේ.

මොවුන්ගේ කතා වස්තු ඉදිරිපත් කිරීමේදී මොවුන් මේසා කාය ශක්තියක් ලබා ගැනීමට හේතු වූ අතීත කුසල කර්ම මෙන්ම සමහරකගේ අනාගත උත්පත්ති ගැනද දක්වා තිබේ.

මේවා එකළ සිටි රහතන් වහන්සේලා විසින් ජනතාවට දේශනා කරන්නට ඇති බව සිතිය හැක. සාමාන්‍ය ජනතාවට දහම් දෙසීමේදී මේ යෝධයන්ගේ කථා වස්තූන් එකළ පටන් යොදා ගන්නට ඇත.

කෙසේ වෙතත් සිංහල බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාම මෙම වීරයන් ගැන දැනගත යුතුව ඇත.

දස මහා යෝධයෝ ගැන කෙටි විස්තරයක් පහත සකස් කර ඇත. මෙහිදී 'දෙමළ' හා 'සොලී' යන වදන් ඉතිහාස ග්‍රන්ථ වල එන අර්ථයෙන් යොදා ඇත. එළාර රජු දෙමළ නොවන බවට මත ගණනාවක් ඇති බව කරුණාවෙන් සළකන්න.

(වැඩිදුර කියවීම් - රසවාහිනිය, සද්ධර්මාලංකාරය )

1. නන්දිමිත්‍ර යෝධයා

කකුසඳ බුදුන් සමයේ රහත් නමකට මහ දන් දීමේ ප්‍රතිවිපාකයෙන් දෙව්ලොව බොහෝ සැප විඳ එළාර රජුගේ මිත්ත නම් සෙනෙවියෙකුගේ නැඟනියට පුත්ව ඉපදිණි. කුඩා කලම මහත් කාය බල ඇත. දෙමව්පියන් පසුපස්සේ ඒම වැලැක්වීමට දණගාන කාලයේ පවා සම් පටි ආදියෙන් බැඳ තැබුවද ඒවා කඩා දමයි. වරක් සුවිශාල උණපඳුරක ගැටගැසූ නමුත් උණපඳුර පිටින් කඩා ඇදගෙන ගියේය.

දොලොස් හැවිරිදි කාලයේ මිත්ත නම් සෙනෙවියාට සේවය කළ නමුත් බුදු සසුන වනසන දෙමළුන් දැක කෝපයෙන් රාත්‍රියේ ගොස් ඔවුන් අලවා මරා දමයි. (මහා පින්වත් කෙනෙක් නිසා දෙවියෝ මේ මළසිරුරු අතුරුදහන් කළ බව කියවේ.) දෙමළු විශාල වශයෙන් අඩුවූ නිසා එළාර රජු මේ ගැන සෙවීමට රහස් පරීකෂකවරු යෙදවීය. තනිවම සටන් කිරීමෙන් පළක් නැතිබව දුටු නන්දිමිත්‍ර මාගම් රාජ්‍යයට ගොස් කාවන්තිස්ස රජතුමා හමු විය.

ගැමුණු රජු රජවූ පසු තමන්ගේ අරමුණ ඉටු කරගත් ඔහු එළාර රජු ප්‍රමුඛ දෙමළ සේනාව වනසා පසුව තම නමින් මහා විහාරයක්ද කරවා මරණින් පසු දෙව්ලොව උපත ලැබීය.

නන්දිමිත්‍ර යෝධයා හට ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. වරක් කඩොළැතා දළ දෙකින් අල්වා මෙල්ල කරන ලද්දේ ඔහු විසිනි. කඩොළැතා විසින් බිඳ හෙලූ විජිතපුර යකඩ දොරට ඇතු යට වන්නට යන විට උරහිසින් එය නවතා ඇතු බේරා ගත්තේද ඔහු විසිනි. අතුරඹ ප්‍රදේශයේ මහා තුණ්ඩ නම් දෙමළා මරණ ලද්දේ ඔහු විසින් යයි කියවේ.

2. සුරනිමල යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ සතුන් මරමින් පවුකාර ජීවිතයක් ගත කළ මොහු රහත් නමකට දනක් දී උන්වහන්සේගේ බණ අසා යහපත් ජීවිතයක් ගතකොට නොයෙකුත් කුසල් කොට දෙව්ලොව බොහෝ සැප විඳ කාවන්තිස්ස රජුගේ පුතෙකු වන දීඝාභය රාජ කුමාරයාගේ ජනපදයක උපත ලැබීය.

ඇතුන් දස දෙනෙකුට බල ඇතත් කිසි වැඩක් නොකරණ කම්මැලියෙක් නිසා රාජ කුමාරයා ළඟ සේවයට පිටත් කරන ළදී. අධික වේගයෙන් ඇවිද ගිය ඔහු ඉතා කෙටි කාලයකදී එතැනට ළඟා විය. දීඝාභය කුමරු නොයෙකුත් ක්‍රම වලින් ඔහුගේ ශක්තිය පරීක්ෂා කර කාවන්තිස්ස රජු වෙත පිටත් කළේය. දොළොස් හැවිරිදි තරුණයා දුටු රජතුමා මෙතරම් බාල කෙනෙකුට යෝධයෙක් විය හැකිදැයි සිතා කඩුවක් මුවහත් කිරීමට බාර දුන්නේය. ඉතා සුළු කාලයකින් මේ කටයුත්ත නිම කරණ ලදී.

දීඝජන්තු සටන - පසුව ගැමුණු රජු කාලයේ කඩු ශිල්පයේ කෙළ පැමිණි රණශූරයෙකු ලෙස ප්‍රකට වූ ඔහු එළාර රජුගේ ප්‍රබලම කඩු ශිල්පියා වූ දීඝජන්තු නම් පාතාක යෝධයා පරදවා මරා දැමීය.

අහසේ කරනම් හැසීමේ හපනෙකු වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීම කළ නොහැකි බව දුටු බුද්ධිමත් විහාර මහ දේවිය උපක්‍රමයකින් ඔහු පැරදවීමට සිතා කුඩා කඳවුරු තිස් දෙකක් ඉදිකර ඒවායේ දුටුගැමුණු රජුගේ ස්වරූපයට සමාන ලෙස සකසන ළද පිළිරූ තැබීය. සත්‍ය වශයෙන් රජු සිටියේ 33වන බලකොටුවේය. එළාර රජුගේ අවසාන ආරක්ෂක වලල්ලේ සිටි දීඝජන්තු, ගැමුණු රජු මැරීමට සිතා එක හුස්මට අහසේ කරණම් ගසමින් ඉහත දෙතිස් බලකොටු වල දෙතිස් පිළිරූ වල හිස් කපමින් අවසාන බලකොටුවට ළඟා වෙත්ම සුරනිමල ඔහුට අපහාසාත්මක ලෙස අභියෝග කළේය. දැඩි වෙහෙසට හා කෝපයට පත්ව සිටි දීඝජන්තු අභියෝගයෙන් පලා නොගොස් සුරනිමල වෙත අහසින් පාත් විය. සුරනිමල කළේ තමන්ගේ පළිහ ඔසවා ශරීරය ආවරණය කර ගැනීමයි. පළිහ සමඟම සුරනිමල දෙපළු කිරීමට තරම් පහරක් දීඝජන්තු එල්ල කළත් අවසාන මොහොතේ පළිහ අතහැර සසෙකට පැනීමට සුරනිමල සමත් විය. දීඝජන්තු පළිහ සමඟම බිම පතිත විය. නැවත නැගිටීමට පෙර සුරනිමල විසින් ඔහු මරා දමන ලදී.

තවත් ජනප්‍රවාදයක් කියන්නේ කාන්තාවන්ට ලොල් වූ දීඝජන්තුගේ අවධානය බිඳීමට විහාර මහා දේවිය ඇමක් වශයෙන් යොදා ගත් බවයි. කෙසේ වෙතත් දීඝජන්තු මිය ගිය පසු යුද්ධය පිළිබඳ බලාපොරොත්තු අත්හැරි දෙමළ සේනාව පසුබැස ගිය බව කියවේ. මෙසේ සුරනිමල අධික වේගය හා කඩු ශිල්පය පිළබඳ නමක් දිනා සිටීය.

තවත් එක් කාරණයක් සඳහා ඔහු ප්‍රකටය. එනම් රා බීමයි. විජිතපුර සටනට පෙර පැවති යෝධබල පරීක්ෂණයේදී විශාල රා මඩමක් තනිවම බී අවසාන කිරීමට නියෝග කරන ලදී. අන්‍ය යෝධයෝ මේ කටයුත්ත තමන්ට නුසුදුසු බව පවසා සිටියහ. සුරනිමල මේ කාර්යය ඉටු කළේය. පසු කාලයේ සුරනිමල බොහෝ පින්කම් කළ බව කියවේ.

3. මහාසොණ යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව කුවා ගමක කෙළෙඹියෙකුට පුත්ව ඉපදිණි. මොහු ඉතාමත් රූපසම්පන්න අතර ඇතුන් දස දෙනෙකුගේ බල ඇත. පෙරකී යෝධයන් මෙන් නොව මොහු කාවන්තිස්ස රජුන්ගේ සේනාවට බැඳුනේ අවු. 20-30 අතර කාලයේය. නොයෙකුත් වීරකම් කොට ලංකාද්වීපය එක්සේසත් කරවා පසුව බොහෝ පින්කම් කළ බව කියවේ.


4. ගෝඨඉම්බර යෝධයා

දස මහා යෝධයන් අතරින් මේ ආත්මයේම නිවන් දුටු අය දෙදෙනෙකි. ගෝඨඉම්බර යෝධයා ඉන් එක් අයෙකි. කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව ලක්දිව බොහෝ සම්පත් ඇති පවුලක ඉපදිනි. ඇතුන් දස දෙනෙකුගේ බල ඇතිවද කම්මැලියෙකි. ශරීරයෙන් කොට නිසා නම සෑදිණි. කාවන්තිස්ස රජු මොහුගේ බල අසා ගෙන්වා ගත්තේය. පසුව මහාජත්‍ර නම් දෙමළ නායකයා මරණ ලද්දේ මොහු විසිනි. රා බීමට මෙන්ම උත්සව ශ්‍රීයෙන් ගත කිරීමට කැමති අයෙකි.

ජයසේන යක්ෂයා හා සටන - මෙවන් උත්සවයකදී රිටිගල වසන ජයසේන නම් යක්ෂයා තම භාර්යාවට ආවේශ වීම නිසා කිපුණු ඔහු යක්ෂයා හට සටනට අභියෝග කළේය. යක්ශයන් හා සටන් කොට ජය ගැනීම මිනිසුන්ට කළ නොහැකි බව පවසා පහළ මට්ටමේ දෙවිවරු ගණනාවක් යෝධයා වැලැක්වීමට තැත් කළහ. නමුත් ඔවුන්ට ඇහුම්කන් නොදී ගෝඨඉම්බර සටනට ඉදිරිපත් විය.

මේ සටනේදී යක්ෂයාගේ බොටුව කැඩී යන පරිද්දෙන් ගෝඨඉම්බර විසින් පහරක් එල්ල කරන ලදී. (මෙහිදී යක්ෂයා ගෝඨඉම්බරට වඩා බලවත් වුවද ගෝඨඉම්බර යනු ත්‍රිහේතුක පශ්චිම භවිකයෙකි. යක්ෂයා අහේතුක උපතක් ලද කෙනෙක් නිසා පින්බලයෙන් වැඩි යෝධයා පහසුවෙන් ජය ගත්තේය.) පසුව යක්ෂයාගේ හීස වෙනුවට වලස් හිසක් සවිකළ මහාසෝණා යකා ගැන ජනප්‍රවාදයක් උපත ලැබීය.

මෙම ජයග්‍රණයෙන් උදම් වූ යෝධයා සුරාවෙන් මත්ව රාජ මාලිගාවට ඇතුල් වීමට තැත් කළ අතර ගැමුණු රජුගේ නියෝගයෙන් එය වැලකිණි. මෙයින් ලජ්ජාවට හා කළකිරීමට පත් යෝධයා එදිනම ලංකාද්වීපය හැරදමා භාරත දේශය බලා පිටත්ව ගියේය.

රහතන්වහන්සේලා සොයමින් ගමන් කළ ඔහුට හිමාලයට යන ලෙස උපදෙස් ලැබිණි. හිමාලය පාමුල ගමකින් දැනගන්නට ලැබුනේ රහතන් වහන්සේලා පර්වත මුදුනේ වාසය කරන බවත් පිඬු සිඟා ගැනීමට පමණක් ගමට එන බවත්ය. මෙසේ මඟ විමසමින් ගමන් කරන විට ඔහු දුටුවේ ඍද්ධි බලයෙන් පමණක් යා හැකි උසකින් තිබූ විහාරයකි. මෙතෙක් වෙහෙස වීමෙන්ද රහතන්වහන්සේලා නොදුටු නිසා ශෝකයට පත් ඔහු පර්වත පාමුල තිබූ මහා හෙළකට පැන්නේය.

ඔහුගේ පින් බලයෙන් මෙය දුටු රහත් නමක් ඍද්ධි බලයෙන් ඔහු අල්වා ඔහුගේ කථාවට සවන් දී මහණ කළ සේක. එතුමා සුළු කලකින් රහත් බවට පත් විය.

5. ථෙරපුත්තාභය යෝධයා

මේ ආත්මයේ නිවන් අවබෝධ කර ගත් අනෙක් යෝධයා නම් මොහුය. කාශ්‍යප බුදුන් සමයේ මොහු කුඩා කල සිටම බුදුන් සරණ ගොස් නොයෙකුත් දන් දී පින්කම් කොට දෙව්ලොව සම්පත් විඳ ලංකාවේ සිටු පවුලක උපත ලැබීය. නම් තබන ලද්දේ ගෝඨාභය ලෙසය.

කුඩා කල පටන් මහත් බල ඇත. දාසය හැවිරිදි වියේදී මොහුගේ පියා මහ සුමන නම් රහතන් වහන්සේගෙන් බණ අසා ගිහි ගෙය කළකිරී පුතා සමඟම ගොස් මහණ විය. ඔහු කෙටි කළකින් රහත් වූ අතර ගෝඨාභය සාමණේරයන් වහන්සේ ථෙරපුත්තාභය (තෙරුන් ගේ පුත් අභය ) නම් විය. උන් වහන්සේ තමන් වාසය කළ පන්සලේ පොල් වත්තක් තැනවූහ.

පෙරකී ආකාරයට ගෝඨයිම්බර යෝධයා පළමු වරට රජුන් දකින්නට ගියේ මේ පන්සල අසළිනි. ඔහු සමඟ ගිය පිරිස කුරුම්බා බීමට කැමැත්තක් දැක්වූ නිසා ගෝඨයිම්බර පන්සලේ පොල් ගස් සොලවා පොල් කඩා තම විලුඹින් ඇන ලෙලි ගලවා මිනිසුන්ට දී තමාද පානය කළේය. සාමණේර නම ආ විට උන්වහන්සේ දුටුවේ පන්සල් වත්තේ හැම තැනම පොල් හා පොල් ලෙලි දමා සැඩි කොට ඇති බවය.

ගෝඨයිම්බර නම් යෝධයෙක් මෙය කළ බව දැනගෙන කෝපයට පත් උන් වහන්සේ ගෝඨයිම්බරගේ කකුලින් අලවා පොල් ගස් වල ගසන්නට වූහ. ගෝඨයිම්බර කොතරම් ශක්තිමත් වුවද ඔහුට ගැලවී ගත නොහැකි විය. ඔහු සමඟ සිටි සේනාවද කොතරම් උත්සහ කළද සාමණේර නම අසලටවත් යන්නට නොහැකි විය. අවසානයේ ඔවුහු සියළු දෙනා බැගෑපත්ව යාඥා කොට සමාව ඉල්ලා පොල් වත්තද තනා දෙන බවට පොරොන්දු වී ගෝඨයිම්බර ගලවා ගත්හ.

කලකට පසුව රජතුමා ලක්දිව තවත් යෝධයන් ඇත්දැයි ගෝඨයිම්බර විමසා සිටියේය. යෝධයා කීවේ තමාටද වඩා දහස් ගුණයකින් බලවත් සාමණේර නමක් වාසය කරන බවයි.

වඩා වටින්නේ සිවුරද ශාසනයද? - රජතුමගේ නියෝගයෙන් සාමණේර නම කැඳවාගෙන ඒම ගෝඨයිම්බරට භාර විය. නමුත් සාමණේරයන් වහන්සේ පැවසුවේ ලබා ගැනීමට ඉතා අපහසු නිර්මල බුදු දහම සහිත ශාසනයක මහණ වූ තමා නිර්වාණ සම්පත්තිය හැර දමා කිසි විටකත් නොපැමිණෙන බවයි.

ගෝඨයිම්බර තර්ක කළේ ශාසනය දැඩි ලෙස විනාශයට පත් වන කාලයක තමන් පමණක් සසරින් ගැලවී යාම සුදුසු නොවන බවයි. නිර්මල බුදු දහම තවත් කාලයකට ආරක්ෂා කරදී පසුව නිවන් දැකිය හැකි නොවේදැයි විමසූ ඔහු තමන්ට දීපංකර බුදුන් සමයේ ලැබිය හැකි වූ නිවන් සම්පත්තිය හැරදා ලෝක සත්වයාගේ ගැලවීම උදෙසා බුදු බව පැතූ බෝධිසත්වයන් වහන්සේ ගැනද මතක් කළේය. අවසානයේ සාමණේරයන් වහන්සේ සිවුරු හැරීමට එකඟ විය.

පසුව ලක්දිව එක් සේසත් කොට රජතුමා දුන් වස්තුව හා තානාන්තර කිසිවක් නොගෙන පැරදවීමට තවත් සතුරන් තමාට සිටින බව රජතුමාට පැවසීය.

තමන්ට සතුරන් නැති බවත් ඔබට ඇත්තේ කුමන සතුරෙක්දැයි විමසූ රජුට කෙළෙස් නම් සතුරන් පැරදවීම වඩාත් උත්තම බව පැවසූ යෝධයා රාජ අවසරයෙන් මහණ වී, නොබෝ කලකින් රහත්ව මහත් ප්‍රකට හිමි නමක් වූහ.

6. මහා භරණ යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ මොහු බුදුන් සරණ ගොස් නොයෙකුත් පින් දහම් කොට ඒ කුසලයෙන් බොහෝ කාලයක් දෙව් සැපත් විඳ පසුව රුහුණු රට උපන්නේය. ඔහුගේ පින් බලයෙන් උපන් දවසම මහා නිධානයක්ද පවුලට ලැබිණි. කුඩා කල පටන් මහත් ශක්තිවන්තය. පසුව රාජ සේවයට කැඳවනු ලැබීය. ලක්දිව එක් සේසත් කොට පසුව බොහෝ පින්කම් කළේය.

7. වේළුසුමන යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ මොහු රහතන් වහන්සේ කෙනෙකුට දන් දීමේ විපාකයෙන් දෙව් සැපත් විඳ කාවන්තිස්ස රජුගේ කාලයේ මෙරට උපන්නේය. ඔහුගේ පියාගේ මිත්‍රයන් දෙදෙනෙකුගේ නම් එකතු කොට වේළුසුමන යනුවෙන් නම් තබන ලදී.

මෙම වේළු නම් මිත්‍රයාගේ එක් මෙල්ල කළ නොහැකි යයි සැලකුණු අශ්ව පැටියෙක් මෙල්ල කිරීමෙන් ඔහුගේ බලය ප්‍රකට විය. වේළු නැමැත්තා 'මොහු රාජ්‍ය සේවයට සුදුසුය' සිතා රජු සමීපයට පිටත් කරන ලදී.

විහාර මහා දේවියගේ දොළදුක් - ගැමුණු කුමරා උපදින්නට සිටින් විට මවට දොළදුක් හතරක් පමණ උපන් බව දක්වා තිබේ. රියන් සියයක් දිග මී වදයක් සංඝයාට දී තමාද කෑම ඉන් එකකි. මෙය කුමරාගේ පින් බලයෙන්ම ඉටු විය. ඉතිරි දොළදුක් (තිසා වැවෙන් පැන් නෑමට හා බීමට, එළාර රජුගේ නායක යෝධයාගේ හිස කැපූ කඩුව සෝදා ජලය බීම, එළාර රජුගේ මහනෙල් මල් පැළදීම ) සංසිඳුවීමට වේළුසුමන ක්‍රියා කළේය.

මේ සඳහා ඔහු තමා එළාර රජුට පක්ෂපාතී අයෙකු ළෙස හඟවා එළාර රජුගේ අස්ගාල රැක බලා ගැනීමේ කාර්යය බාර ගත්තේය. ඉන්පසු එහි සිටින ශක්තිමත්ම අසෙකු වන රණමද්දව නම් අසෙකු හොඳින් හික්මවා තබා ගත් ඔහු එක් දිනක තිසා වැවෙන් පැන් කළයක්, මහනෙල් මල් ආදිය සකස් කොට අශ්වයා සොරාගෙන තමා වේළුසුමන බව පවසා පළා ගියේය.

ඔහු මරා දැමීමට සොලී රජු විසින් එවන ලද යෝධයන් දෙදෙනා ඔහු විසින් මරන ලදී. පසුව ඔහුගේ ගමන නැවැත්වීමට තැත් කළ මහවැලි ගඟේ වඩමන්න නම් තොට රැකවල් සිටි දහසක් පමණ දෙමළ සෙබළුන්ද ගඟේ අනක් පස රැකවල් සිටි ව්ඩ්ඨමාන නම් දෙමළ යෝධයා ඇතුළු දහසක් දෙනාද තනිවම සටන් කොට මරා දැමීමට ඔහු සමත් විය (මේ ස්ථාන දෙකට පිළිවෙලින් දහස්තොට හා දහස්මඬලාතොට යනුවෙන් ව්‍යවහාර විය ).

ගැමුණු කුමරු රජවන විට මොහු මැදිවියේ සිටින්නට ඇතැයි සිතිය හැක. මොහු සටන් කළේ බොහෝ විට අසු පිටය. ලක්දිව එක් සේසත් කිරීමෙන් පසු කුසල් කොට දෙව්ලොව උපන් බව දක්වා තිබේ.


8. ඛඤ්ඡදේව යෝධයා

කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු බුදුන් සරණ ගොස් මහවනයක් මැද පන්සලක් තනවා එක් භික්ෂූන් වහන්සේ නමකට පුදා දාන මාන හා සිවුරු පිරිකර පිදීය. මේ කුසලයෙන් බොහෝ දෙව් සැපත් විඳ මෙරට බොහෝ සම්පත් ඇති නිවසක උපත ලැබීය. ඔහු සියළු ආයුධ හරඹයේ කෙළ පැමිණි අතර මහත් ශක්තිවන්ත විය. ඔහු ගැන අසා කාවන්තිස්ස රජතුමා ගෙන්වා ගත් අතර පසුව ලක්දිව එක් සේසත් කොට බොහෝ කුසල් රැස් කළේය.

9. ඵුස්සදේව යෝධයා

කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු බුදුන් සරණ ගොස් ජීවිතය ඇති තුරා තුණුරුවන් පුදා බොහෝ දෙව් සැපත් විඳ රුහුණු රට උපත ලැබීය. ඵුස නැකතින් උපන් නිසා ඵුස්සදේව ලෙස නම් තබන ලදී.

සත් හැවිරිදි වියේ විහාරයක පූජාවට තිබූ ශංඛයක් (හක්ගෙඩියක්) ගෙන පිම්බේය. මේ ශබ්දය ගව් ගණනක් පැතිරී ගිය අතර ඒ අසා සමීප වනයේ වසන සියළු සතුන් බියෙන් භ්‍රාන්ත වී බිම වැටුණි. අසල සිටි මිනිසුන්ද සිහි නැතිව වැටුණි. මින් පසු ඵුස්සදේව යෝධයා නමින් ප්‍රකට විය.

මොහුගේ වංශයේ බොහෝ කාලයක් තිස්සේ ධනු ශිල්පයක් පැවත එන අතර ඵුස්සදේව ගේ පියා ඔහුව මේ ශිල්පයේ ප්‍රගුණ කරවීය. දොලොස් හැවිරිදි වියේදී ධනු ශිල්පයේ ඔහු හා සමාන කෙනෙක් නැති විය. ශබ්දයට විදීම ආදී රහස් ශිල්ප ක්‍රමද හස්ති, අශ්ව ආදී ශිල්ප ගණනාවක්ද උගත්තේය.

පසුව කාවන්තිස්ස රජු විසින් ගෙන්වා ගන්නා ලදී. ගැමුණු කුමරුගේ ඉතාමත් විශ්වාසවන්තම යෝධයෙකු වූ ඔහු නිරන්තරයෙන් රජුගේ ආරක්ශාව සඳහා එතුමා අසළින්ම සිටි බව පෙනේ.

භල්ලුක සටන - එළාර රජු මරා දැමීමෙන් පසු ඔහුගේ බෑනා කෙනෙකු වන ධනු ශිපයට ප්‍රකට "භල්ලුක" ලංකාවට ගොඩ බැස කුළී සේනාවක් සමඟ ගැමුණු රජු හා සටනට ආවේය.

මෙහිදී කඩොලැතා බලාපොරොත්තු නොවූ ලෙස පසු බසින්නට වූ අතර (රජතුමා සිටියේ ඇතා පිට නිසා ඇතා සමඟ සියළු සේනාවම පසු බසින්නට විය ) ගැමුණු රජු ඵුස්සදේව අමතා මෙතරම් මහ සටන් වලදීත් පසු නොබැස සටන් කළ කඩොලැතා භල්ලුකගේ සේනාව හමුවේ පසු බසින්නේ ඇයිදැයි විමසා සිටියේය. මෙයට පිළිතුරු දෙන යෝධයා තමන් සිටින ස්ථානය ජය බිමක් නොවන නිසා ඇතා පසු බසින බවත් ජය බිමක් හමුවූ තැන ඔහු නතර වනු ඇති බවත් ප්‍රකාශ කළේය. පසුව මහා විහාර සීමාව අසළ ඇතු නතර විය.

මේ අවස්ථාවේ භල්ලුකයා ගැමුණු රජුගේ මුඛයට විදින්නට සිතා ඊතලයක් අමුණාගෙන මුඛයට ඉලක්ක කොට රජු ඇමතීය. ගැමුණු රජු පිළිතුරු දුන්නේ කඩුපතින් මුව වසා ගෙනය. භල්ලුක එල්ල කළ හීය කඩුවේ වැදී බිම වැටිණි. ගැමුණු රජතුමා එවිට කටේ තිබූ බුලත් විට බිමට දැමීය. තම ඉලක්කය නිවැරදි යයි සිතූ භල්ලුකයා ඔල්වරසන් හඬ පවත්වන අතර ඒ සිදුවීමෙන් කෝපයට පත් ඵුස්සදේව ඊතලයක් අතට ගන්නට වත් නොසිතා රජුගේ කුණ්ඩලාභරණය කඩා භල්ලුකයාගේ කටට විදිදේය.

මින් ක්ෂණිකව මරණයට පත් දෙමළ නායකයා බිම වැටෙන්නට ගියේ පිටුපසටය (එනම් ගැමුණු රජුගේ දිශාවට පය ලා ගෙනය ). මෙයද ගැමුණු රජුට අගෞරවයක් යයි සිතූ ඵුස්සදේව අනෙක් කුණ්ඩලාභරණයද කඩා භල්ලුකයාගේ පාදයකට විදිදේය. භල්ලුක බිම වැටුනේ ගැමුණු රජුගේ දිශාවට හිස ලා ගෙනය. කුලී සේනාව සටන් නොකොට පලා ගියේය.

නමුත් තමා කළ ක්‍රියාව ගැන පසුතැවිල්ලට පත් යෝධයා ඒ ක්‍රියාවට දඩුවමක් ලෙස තමන්ගේ කන් පෙති කපා ලේ ගෙන ගැමුණු රජුට පෙන්වීය. රජතුමා දොම්නසට පැමිණ තමන්ගේ සතුරන් පැරදවීම සඳහා කළ ඒ ක්‍රියාවේ වරදක් නැති බව කියා ඊතල දෙකක් එකට අමුණා සිටුවා ඒවා වැසෙන තරම් මසුරන් ගොඩක් ත්‍යාග වශයෙන් ඵුස්සදේවට ලබා දුන්නේය.

10. ලභියවසභ යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ මොහු බුදුන්ගෙන් බණ අසා නොයෙක් ලෙස දන් දී වසර විසි දහසක් තිස්සේ පන්සිල් රක්ෂා කළේය. පසුව බොහෝ දෙව් සැප විඳ මෙරට බොහෝ සම්පත් ඇති පවුලක උපන්නේය. පන්සිල් රැකි බලයෙන් අතිශය රූප සම්පන්නය. සියළු යෝධයන්ගෙන් වඩාත්ම කඩවසම් තැනැත්තා මොහු විය.

යහපත් රූපයක් ඇති නිසා ලභියවසභ නම යෙදිණි. ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. කඩු හරඹයේ ප්‍රකට විය ඉතා කුඩා කළකින් වැවක් තනා නිමකළ අතර ඒ වැව කාවන්තිස්ස රජුන් විසින් ඔහුටම පවරා දෙනු ලැබීය (ලභියවසභ වැව නම් වේ). පසුව ගැමුණු රජු හා එක්ව ලක්දිව එක් සේසත් කොට බොහෝ කුසල් රැස් කළේය.


http://www.elakiri.com/forum/showthread.php?t=1189396

Monday, September 12, 2011

කොසොල් රජතුමා දුටු සිහින 16

කොසොල් රජතුමා දුටු සිහින 16


පළමු සිහිනය

‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි.


තථාගතයන් වහන්සේ මෙම සිහිනය විවරණය කරමින් ‘රජතුමනි! මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය.

එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇති වන්නේය. සතර දිගින් වැසි වළාකුළු පැමිණි විට මිනිසුන් උදළු රැගෙන ඇළ වේලි බැදීමට සැරසෙති. එහෙත් වැසි වැටීමට මෙන් අහස ගිගුරුවද අවසානයේදී වැසි නොවැටෙන්නේය. මෙමගින් රටේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව මෙම පළමු සිහිනය දතයුතුය.


දෙවන සිහිනය

ස්වාමීනී මා විසින් දකින ලද දෙවන සිහිනය මෙසේය, ඉතා කුඩා පැළෑටි හා පදුරු පොළොවෙන් මතු වී පැමිණ වියතක් හෝ දෙකක පමණ වැඩුණු පසු මල් පල දරයි.ස්වාමීනී මෙම දෙවන සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?


මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵල දැකගත හැක්කේ බොහෝ කාලයක් ඇවෑමෙනි. එනම් මිනිසාගේ ආයු පිරිහී යන විට ඉතා කෙටි කාලයක් ජීවත් වන අවදියක් උදා වන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරන්නේය.එබැවින් ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බව මෙම සිහිනයෙන් ප්‍රකාශ වන බව දැනගත යුතු යැයි එම දෙවන සිහිනය තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කළ සේක.


තෙවන සිහිනය

ස්වාමීනී, මාදුටු තෙවන සිහිනය නම්, දෙන්නු එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි උරාබීමය.


‘ මහ රජතුමනි! මෙහි ප්‍රතිඵලය අනාගතයේදී මිනිසුන් තම දෙමාපියන්ට නොසලකා පවුලේ සියලු දේපල සියල්ල තම යටතට ගැනීම බව දත යුතුය.එවිට දෙමාපියන් අසරණ වී ඔවුන් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත්වන්නේය.මෙය තෙවන සිහින පලාපලය වන්නේය.


සිව්වන සිහිනය

ස්වාමීනි සිව්වන සිහිනය නම්, ගැළ නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති. එම බර ඇද යාමට නොහැකි වූ පැටවුන් නිසලව සිටිති.


‘මහරජතුමනි!, මෙම සිහිනයේ ප්‍රතිඵලය ද අනාගතයේදී ලැබෙන්නේය. අනාගතයේ දී රජවරු අධර්මිෂ්ට වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති. රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරුවලට පත් කරති. මෙම අදක්ෂයින් තනතුරු වලට පත් වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිව්වන සිහිනයෙන් කියවෙන බව දතයුත්තේය.


පස්වන සිහිනය

ස්වාමීනි මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය.


‘මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත - චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.

හයවන සිහිනය

ස්වාමීනි මා දුටු හයවන සිහිනය නම්, මනාව ඔප දමන ලද කහවනු ලක්ෂයක් වටිනා රන්තලියක මහළු සිවලෙකු මුත්‍රා කිරීමය.


රජතුමනි, අනාගතයේදී අදමිටු රජවරු රජ පරපුර නොසලකා නීචයන්ට උසස් ස්ථාන ලබා දෙති. අනතුරුව නීචයන් උදෙසා තම රාජකීය දියණිවරු සරණපාවා දෙති. මින් උසස් රාජ වංශයන් කෙළෙසී යන බව දතයුතුය.


සත්වන සිහිනය

ස්වාමීනි මා දුටු සත්වන සිහිනය නම්, මිනිසෙකු ලණුවක් අඹරමින් සිටියි. ඔහු ලණුව අඹර අඹරා තමා සිටින පුටුව යටට දමයි.යට සිටින සිවල් දෙනක විසින් එය කොටසින් කොටස ගිල දමයි. මෙය සිදුවන්නේ ලණුව අඹරන මිනිසාගේ දැනුමෙන් තොරවය.


මහරජතුමනි! මෙයින්ද ඔබට අනතුරක් නැත. මෙය ද අනාගතයේ සිදුවන දෙයකි.එනම් අනාගතයේදී කාන්තාවෝ පිරිමින් සමග මත් පැන් බොමින් තම සැමියන් විසින් මහන්සි වී උපයන ධනය විනාශ කර දමති. එය මහළු සිවලිය මිනිසා කොටස් වශයෙන් අඹරන ලණුව ගිලදමන්නා මෙන් යැයි දතයුතුය.


අට වන සිහිනය

ස්වාමීනි මා දුටු අට වන සිහිනය නම් රජ මාලිගයේ මුවවිට දක්වා දිය පිරුණ සැළියක් ඇත. එය වටා කිසිදු දිය බිදක් නැති හිස් කළ රාශියක් ඇත. සතර දෙසින් වැල නොකැඩී ගලා එන මහ ජනකාය ජලය පිරී ඇති දිය සැළියට ජලය බහා ලති. දිය සැළිය පිරී ඉතිරී යයි.එහෙත් කිසිවෙකු හිස්බදුන් වලට දිය නොදමති.



මහරජතුමනි! මෙම සිහිනය ද ඔබගේ කාලයේ විපාක නොදෙන්නකි. කාලය ගතවත්ම ලෝකය පිරිහෙන විට රාජධානිද පිරිහෙයි. රජවරු දිළිදු වී බලවත්ම රජුගේ ධනය කහවනු ලක්ෂය දක්වා පහල යයි.අනතුරුව රාජධානි වල වැසියන් රජුගේ කටයුතුවල පමණක් යොදවති.රජු ධනවත් වන අතර ජනතාව දිළිඳු වී දුක්බරිත වන බව මෙයින් දතයුතුය.


නව වන සිහිනය

ස්වාමීනි! මාදුටු නව වන සිහිනය නම්, හාත්පසින්ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිවුපා සතුන් දිය බීමට පැමිණෙත්. එහි මැද ප්‍රදේශයෙහි මඩ සහිතය. එහි නොයෙක් සතුන් දියබීමට පැමිණ ඇත.


මහරජතුමනි! අනාගතයේදී රජවරු අධර්මිෂ්ට වී හිතුමනාපයේ රාජ්‍ය පාලනය කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඩු මිරිකන්නා සේ ජනතාවගේ ශ්‍රමය සූරා ධනය උදුරා ගන්නේය.


දසවන සිහිනය

ස්වාමීනි! දසවන සිහිනය නම්, කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව බතක් පිසෙනු ලැබේ. එම බත කොටස් 3 කට බෙදී එක් කොටසක් බෙරිවී ඇත. අනෙක් කොටස අමුය. ඉතිරි කොටස මනාව පැසී ඇත.



මහරජතුමනි! අනාගතයේදී අදමිටු රජවරු පහළවීම නිසා වැසියෝ ද අදමිටු වෙති.ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා අධර්මිෂ්ට වෙති. මෙසේ වන විට ඔවුන් රකින දෙවිවරුද අධර්මිෂ්ට වෙති.මේ අධර්මිෂ්ට රාජධානි හරහා හමායන සුළං ක්‍රමවත් නොවීම නිසා රටේ එක් පෙදෙසකට දරුණු නියගය ද එක් ප්‍රදේශයකට දරුණු ගංවතුර ද ඇති වී මහත් විනාශයන් ඇති වන විට තවත් ප්‍රදේශයක් බොහෝ සශ්‍රී ක වන බව මෙයින් කියවෙන්නේය.



එකොළොස් වන සිහිනය

ස්වාමීනි! මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.


මහරජතුමනි! අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති.ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති. මෙය එකොළොස්වන සිහිනයේ පලාඵළය වන්නේය.


දොළොස් වන සිහිනය

ස්වාමීනි! මා දුටු දොළොස් වන සිහිනය නම් ලබු කබල් දියෙහි කිදා බැසීමය.


මහරජතුමනි! මෙම සිහිනයද අනාගතයේ අධර්මිෂ්ට රජවරු නිසා ඇතිවන්නකි. මෙම යුගයේදී නොයෙක් නීච කුල ජාතිකයන් රජ වෙති. එවිට පහත් ගති ඇත්තේ බලයට පත්වෙති. එවිට ලාමක ගති ඇත්තන් අධිකරණ සේවයේ යෙදවීම නිසා නීතිය වල් වැදී යන බව මෙයින් කියවෙන්නේය.


දහතුන් වන සිහිනය

ස්වාමීනි! දහතුන් වන සිහිනය නම් සුවිසල් පර්වත දියෙහි පාවී යාමය.


රජතුමනි අනාගතයේ දී සම්භාවනීය පුද්ගලයෝ තනතුරුවලින් නෙරපා පහත් පුද්ගලයින් සේවයේ යොදවත්. මෙමගින් සමාජ සංස්ථාව මහත් පීඩාවට පත්ව රාජ්‍ය ද පිරිහී යන බව දත යුතුය.



දහහතර වන සිහිනය

ස්වාමීනි මාදුටු දහ හතර වන සිහිනය නම් කුඩා මැඩියන් විශාල නාගයන් ගිලදැමීමය.


රජතුමනි, අනාගතයේදී බොහෝ පිරිමින් වියපත් වුවද තරුණ කාන්තාවන් සමග සල්ලාලකම් වල යෙදෙති. මෙම තාවකාලික අඹුවන් සොර සැමියන් වහළුන් බවට පත් කොට සලකති.



පහලොස්වන සිහිනය

ස්වාමීනි! පසළොස් වන සිහිනය නම් කපුටෙකු රන්වන් හංස රංචුවක විසින් පිරිවරා සිටීමය.


රජතුමනි, අනාගතයේ දී කිසිදු යුධ ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය.එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය.

දහසයවන සිහිනය

ස්වාමීනි! දහසය වන සිහිනය නම් එළුවන් විසින් අදුන් දිවියන් ගොදුරු කර ගැනීමකි.එළුවන් විසින් අදුන් දිවියන් පසු පස හඹාගොස් ඔවුන් ගොදුර කර ගනිත්. ස්වාමීනි එළුවන් දුටුවිට අදුන් දිවියන් බියවී වනාන්තරයෙහි සැගවෙත්. ස්වාමීනි! මෙම අවසාන සිහිනයේ තතු කෙසේද?


මහරජතුමනි! අනාගතයේදී අධර්මිෂ්ට රජවරු ලොව පහල වූ විට ඔවුන් පහත් කුලවල නීච ගති ඇත්තන් තනතුරුවලට පත්කරති. අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැගවෙති.