Search This Blog

Friday, December 2, 2011

2003 දෙසැම්බර් 12 මතකද?

අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි
අපවත් වුණාද?
අපවත් කළාද?


අප වෙනුවෙන්, අපගේ ජාතිය වෙනුවෙන් නොබියව අදීනව හඬ නැගුවේ උන් වහන්සේය.
සිංහල බෞද්ධකම වෙනුවෙන් මෙරට පමණක් නොව දේශ දේශාන්තරවල පවා නොපැකිලව,නොපසුබටව හඬනැගුවේ උන් වහන්සේය.
අප සංඝ සමාජයේ සිංහල බෞද්ධ ලකුණ උන් වහන්සේය.
මේ නිසාම උන් වහන්සේට මුහුණ දීමට සිදු වූ ගැහැට හා කම්කටොළු බොහෝ ය.

Monday, November 28, 2011

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

1. සුප්ට්ඨිත්ත පාද – සම්මා සම්බුද්ධ සිරි පතුළෙහි සාමාන්‍ය මිනිසුන්ගේ මෙන් ඉදිරි පස ඇඟිලි සහ පසු පස විළුඹ අතර, ඇතුළට නෙරීමක් නැත..උන් වහන්සේගේ පාදය සමව බිම ස්පර්ෂ කරයි…
2. හෙට්ඨාපාදතලෙසු ච්ක්ඛාණි – “පාද තලෙසු” යනු යටි පතුළයි..බුදු සිරි පතුළෙහි චක්‍රයක සළකුණක් සහිතය..මෙය යශෝධරාවන් රහල් කුමරු අරඹයා බුදු ගුණ වැනුමට ගැයූ “ඡත්ත වරන්ඛිත රක්ත සුපාදෝ” යන්නෙන්ද නිරූපණය කෙරෙයි…මේ චක්‍රය සමඟ සිරි පාද පත්මයෙහි තවත් “මේරු, චක්ඛවාළ සිඛරී, මිග,සූරෝ, ධජෝ” යනාදි සඥෙ‍යෛය ලක්ෂණ 108ක් ඇත…
3.ආයතපණ්හි – දික්වූ විළුඹ සහ වළළුකර
4.දීඝංඟුලි – දිඟු ඇඟිලි
5.මුදු තළුනභත්ථ පාද – “තළු” යනු පත්ලයි..සිරිපා පත්ල ඉතා මට සිළුටු වේ
6.ජාල හත්ථ පාද – බුදු හිමියන්ගේ අත්පා වල ඇඟිලි (මහපටැඟිලි හැර ) සමාන දිගින් සහ සමාන ඇඟිලි පුරුක් වලින් සමන්විතය..
7. උස්සඬ්කපාදතා – වළළු කර උස්ය
8. එණිජඬ්ගා – මුවෙකුගේ කෙණ්ඩා බඳු සෘජු, නොපළුදු කෙණ්ඩා ඇත්තේය…
9. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති – සෘජුව සිට ගත් කළ සිය දෙ අතින්, දෙදන නොනැමීම ඇල්විය හැක..
10. කොසෝහිත වත්ථගුය්හ – කෝෂයක් පරිද්දෙන් වැසුනු පුරිස් ලකුණකි
11. සුවණ්ණවණ්ණ – රන් වන් පැහැ සිරුර
12. එකෙකලොම – බුද්ධ ශරීරයෙහි සමෙහි එක් රෝම කූපයක ඇත්තේ එක් රෝම ධාතුවක් පමණකි…
13. උද්දග්ගලොම – තථාගතයන් වහන්සේ ගේ සිරසෙහි කේශ ධාතු දකුණට නැමී ඇති “ඌර්ණ රෝම” ලක්ෂණයෙහි පිහිටයි
14. බ‍්‍රහ්මුජ්ජුගත්ත – පහන් ටැඹක් සේ උස්වූ සෘජු, කැපී පෙනෙන නායක ශරීරයකි..
15. සත්තුස්සද – තිලෝගුරු ශරීරයෙහි සවිමත්, පැහැපත් මස් ගොබයන් දෑතෙහිද, දෙපයේද ඇතියෙන් මහා ප්‍රතාපයක් ගෙන දෙයි..
16. සීහපුබ්බද්ධකාය – “පුබ්බද්ධ” යනු “පූර්ව අර්ධ” යන්නයි..බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය කේසර සිංහයෙකුගේ මෙන් තේජ සම්පන්නය…
17. චිතන්තරංස – පුළුල් වූ සම්බුද්ධ උරතළයන් අතර කිසිදු ඇතුලට නෙරීමක් නැත…( සාමාන්‍ය පිරිමියෙකුගේ උරහිස් පතු සහ ගෙල අතර අස්ථි අතුරින් මාංශ ඇතුළට නෙරා යයි..)
18. නිග්‍රෝධ පරිමණ්ඩල – නීග්‍රෝධ වෘක්ෂය වූ කලී පුරාතන දඹදිව්හි කිසිදු පැත්තකට බර වීමක් හෝ ස්ථුල වීමක් නොමැති, කෙළින් සෘජුව අහසට වැඩෙන යෝධ රුකක් ලෙස ප්‍රකට වූවකි..සම්මා සම්බුද්ධ ශ්‍රී ශරීරයද එකී වෘක්ෂය මෙන් අභිමානී වූ සිරුරකි..
19. සමවත්තක්ඛන්ධ – සෘජු, සමාන වක්‍රව වූ ගෙල ප්‍රදේශය
20. රසග්ගසග්ගී ජ්ව්හ – ආහාර වලින් සමාන රස දෙන සම්බුද්ධ රන් දිව
21. සීහහනු – සවිමත්, සිංහයෙකුගේ බඳු, කැපී පෙනෙන හනු සහ හකු පාඩා
22. චත්තාලීස දන්ත – සාමාන්‍ය මිනිසෙකුගෙ දන්ත හෙවත් දත් 32 කි…ශ්‍රී සම්බුද්ධ මුවෙහි සිරි දළදාවෝ 40 ක් පිහිටති..
23. සමදන්ත – දත් බෙහෙවින් සමාන පෙනුමෙන් යුතුය
24. අවිවරදන්ත – සිරි දළදාවෝ මත හෝ ඒවා අතරෙහි කිසිදු විවරයක් නැත..
25. සුසුක්කදාඨ – “සුසුක්ක” යනු “සුදෝ සුදු” යන්නය..බුද්ධ සිරි දළදා ඉමහත් සුදු පැහැයෙන් දිලෙයි..
26. පහූත ජිව්හො – විශ්වයටම අමා වැසි වැස්වූ රන් දිව ඉතා පළල්ය…සවිමත්ය…
27. බ‍්‍රහ්මස්වර – “බ්‍රහ්ම” යන්න පාලියෙහි “අසමසම” යන්නට යෙදේ…සම්මා සම්බුද්ධ ධර්ම ස්වරය අසම සමය…
28. අභිනීලනෙත්ත – ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන, තියුණු සම්බුද්ධ නේත්‍ර සඟල
29. ගොපමුඛ – අළුත උපන් ගෝ පෝතකයෙකුගේ මුවෙහි ඇති රත හා සමාන රතු ඇස් පිල්ලම්
30. උණ්ණා – ඌර්ණ රෝමය
31. උණ්හීසසීස – දිය බුබුළක් මෙන් මනා හැඩයෙන් යුතු සම්බුදු සිරස
32. සුඛුමච්ඡවි – ඉතා මුදු මොළොක් සම


දීඝ නිකායේ “ලක්ඛණ” සූත්‍රය ඇසුරෙනි

Sunday, November 20, 2011

රටයකුම හෙවත් රිද්දියාගය








හැඳින්වීම

දේශීය ශාන්තිකර්ම සම්ප්‍රදායේ පහතරට ප්‍රදේශයට ආවේණික ප්‍රධාන ශාන්තිකර්මයකි.මාතර හා බෙන්තර ප්‍රදේශ මුල් කරගෙන පැවැත්වෙයි.විවාහක දරුවන් අපේක්ෂිත කාන්තාවන් උදෙසා යකුන් අරභයා පැවැත්වෙන ශාන්තිකර්මයකි.

රටයකුම ශාන්තිකර්මය සිංහල නර්තන සම්ප්‍රදායේ භාව පූර්ණ නෘත්‍ය ලක්ෂණ අන්තර්ගත එකම ශාන්තිකර්මය ලෙස ද(කෝට්ටගොඩ,1995)ගර්භ සංරක්ෂණ ශාන්ති කර්මයක් ලෙස ද හඳුන්වා ඇත.(කාරියවසම්,1976,41 පිටුව)

ශ්රී ලංකාවේ පහතරට ප්රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්රධාන යාතුකර්මයක් වන ගම්මඩුව ශාන්තිකර්මය සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්රීකත්වය අරමුණු කරගත් ප්රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස 'දෙවොල් මඩුව' නමින් රුවන්වැල්ල ප්රදේශයේ දී ආරම්භ වී මාතර, බෙන්තර සහ රයිගම යන ප්රධාන නර්තන සම්ප්රදායයන් තුනෙන් සමන්විත පහතරට නර්තන සම්ප්රදායේ ප්රධාන ශාන්තිකර්මය බවට පත්ව ඇත. ශ්රී ලංකාවේ උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්රධාන නර්තන සම්ප්රදායයන් තුනක් පවතින අතර, පහතරට ප්රදේශ ආශ්රිතව ව්යාප්ත වී ඇත්තේ පහතරට නර්තන සම්ප්රදායයි.


පැවැත්වීමේ අරමුණු

විවාහක,දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා ගැනීම
දරු ගැබ් පිළිසි‍‍ඳෙන මුත් අතර මැද දරු ගැබ විනාශ වන කාන්තාවන්ගේ දරු ගැබ් ආරක්ෂා කර ගැනීම
පිළිසිඳුණු දරු ගැබ ආරක්ෂා කර ගැනීමට හා දරු උපත යෙහෙන් සිදු කර ගැනීම


උපත් කථාව

රටයකුම හෙවත් රිද්දියාගය ආරම්භ වී ඇත්තේ දරු දොළ උපතක් මුල් කර ගෙනය.එක් කථා පුවතකට අනුව මහාමේරුව පළාගෙන හටගත් ගිනි පුපුරු හතකින් මුදුන්මාල,ධර්මපාල,ගිරිමේඛල,ඕන්කාර,රිද්දි,කොණ්ඩමාල,රණකපාල යන බිසෝවරු සත්දෙනෙක් උපන්හ.මොවුහු සොළොස් වයස පසු කළ මුත් දරුවන් නොලද බැවින් දරු උපත් අපේක්ෂාවෙන් වේදනාවෙන් කල් ගෙවූහ.දීපංකර බුදුන්ට නොඉඳුල් සලුවක් වියා පූජා කිරීමෙන් දරු සම්පත් ලැබෙන බව සිහිනෙන් දැක, එය ඉටු කර ගැනීමට කටයුතු කළහ.නේරංජනා නදියට ගොස් හිස නානු ගා ස්නානය කොට සලුපිළි හා ආභරණ පැළඳ, දලු බුලත් අනුභව කොට, නැව් නැග ලක්දිව උසන්ගොඩ ප්‍ර‍‍දේශයට ගොඩ බැස්සහ.එහිදී බිසෝවරු හේනක් කොටා, කපු වපුරා, අස්වැන්න ලබා සලුවක් වියා දීපංකර බුදුන්ට පූජා කළහ.එම අනුහසින් දරු ගැබ් පහළ වූ බව කියවෙයි.මෙම කථා පුවත ශාන්තිකර්මයේ දොළහ පෙළපාලිය හා කපුයක්කාරිය යන අංග ඔස්සේ නිරූපණය කෙරේ.

ඒ හා සම්බන්ධ වූ තවත් කථා පුවතකට අනුව දරු ගැබ් පහළ වීමෙන් පසු ආභරණ ඇල්ලට දිය නෑමට යාමේදී රොඩියෙකු ස්පර්ශ වීම නිසා බිසෝවරුන් ඇල්ලෙන් පැන මිය ගොස් යක්ෂණියන් වී උපත ලද බව කියවෙයි.දරුවන් කෙ‍රේ ආසාවෙන් මිය ගිය බැවින් කාන්තාවන්ට වඳ බව ඇති කෙරෙන බවත් සඳහන් වේ.

රටයකුම හා සම්බන්ධ පුරාවෘත්ත තවත් ආකාරයකින් ජනශැතියේ එයි.මහාමේරුව හෙවත් රංගිරි කූටයේ හට ගත් ගින්නකින් රිද්දි බිසව උපන්නාය.වැඩිවියට පත් ඇය මහා බ්‍රහ්මයාගේ අඹුව බවට පත්වූ අතර දූවරුන් සත් දෙනෙකු ලැබුවාය.පසුව මහා බ්‍රහ්මයා ඇය අත්හැර දමා ගියෙන් තමා සමග උපන් අවශේෂ යකුන් සමග එක්ව වෙසමුණි රජුගේ පිරිසට එක් වූවාය.එහිදී ඇය වෙසමුණි රජුගෙන් වරමක් ගෙන කලු කුමාරයා සමග එක්ව කාන්තාවන්ට හා ළදරුවන්ට රෝග පමුණුවමින් දොළ පිදේනි ලැබීමට යොමු විය.ඔවුහු වෙසමුණි රජුගේ අණ නොසලකා කටයුතු කළ හෙයින් අසුරගිරි පර්වතයට නෙරපා හැර දොළොස් වසරක් දුක් වින්ඳහ.පසුව දීපංකර බුදුන්ගන් වරම් ගෙන කාන්තාවන් වඳ බවට පත් කර දොළ පිදේනි ගැනීමට ‍යොමු වූ බව කියවේ.

රටයකුම පැවැත්වීමට පෙර අදාළ ආතුර කාන්තාව උදෙසා කලහ පේ කිරීම,ඇප නූල් බැඳීම යන චාරිත්‍ර ඉටු කෙරේ.සඳුදා, බදාදා යන දෙදිනයන්හි නොපවත්වයි.සැන්දෑ යාමයේ පටන් පසුදා පහන් වනතුරු තුන් සමයමකින් හෝ ඉරමුදුන් සමයම ද ඇතුලු ව සමයම් හතරක පුද පෙත්වලින් සමන්විත වේ.


යොදා ගන්නා සැරසිලි

නව මල්පාය හෙවත් මල් මඩුව
කුමාර වීදිය
කුමාර පිදේනිය
කත්තිරික්ක හතරක්
සූනියම් වීදිය
කපාල කූඩුව
දැර හැව
නව මාලේ මල් බලිය
කලු කුමාර බලිය
දොළහ පෙළපාලිය හා කපුයක්කාරිය සඳහා අවශ්‍ය රංග භාණ්ඩ


පුද ලබන යක්කු

කලු යකා
කලු කුමාර යකා
රට යක්කු
රොඩී යක්කු
තොට යකා
රීරි යකා
මහසෝන් බකා
බිල්ලේ යකා
සූනියම් යකා


පූජා විධි රටාව

මාතර පළාත

නානුමුරය -හිස තෙල් ගෑම

ආතුරයා පන්දලට කැඳවීම
සූනියම් දේවතාවාට ආරාධනා කර සූනියම් වීදිය කැප කිරීම
කලු, තොටුපල, රීරි, සූනියම් සහ බිල්ලේ යකුන්ට පිදේනි කැප කිරීම
කුමාර පිදේනිය කැප කිරීම
කඩතුරා ඉවත් කොට කුමාර සමයම නැටීම
හත් පද නැටීම
හැන්දෑ සමයමේ යකුන්ගේ පිදේනි පාවා දීම
පැදුරේ දැපවිල්ල
වීදි කැප කර රිද්දි සමයම ඇරඹීම
විලක්කු ගසා වියන් රෙද්ද කැරකීම
දුම්මල කීල ගසා ගිනි සිසිල කිරීම
දුම්මල කන්නලව්ව, විලක්කු පද, මහා කවි තාලය, අඩව් ඇල්ලීම, දුම්මල පදය, බටගහේ පදය, ඊ ගහේ පදය, වටයක් පදය නැටීම
පිට වීදි කැප කිරීම හා මහා යාදින්න (මහ තේ වතුර)
හීන් තාලම් ආරම්භ කර කලාසම් පද, මල් පද, දේව පද, පස්ගම යකුන් පද නැටීම
පෙළපාලි දැක්වීම හා කොතලේ නැටවීම
නව මාලයේ පිදේනිය ඔප්පු කිරීම
නානු මුරය
කපුයක්කාරිය
දලු මුර ඔප්පු කිරීම
දරු නැළවීම
චාමර පද නැටීම
රිද්දි පිදේනිය කැප කිරීම
කුල්ලේ පිදේනිය කැප කිරීම
සන්නි පිදේනි ඔප්පු දීම, පාලි නැටීම, සන්නි නැටීම
මහා කලු කුමාර සමයම නැටීම හා අවතාර ඉගිල්ලීම
බලිය පාවා දීම
පින් බෙර ගැසීම, ආරක්ෂා නූල් බැඳීම

බෙන්තර පළාත

කපුයක්කාරිය -සලුව විවීම

ආතුරයා පන්දලට කැඳවීම
නාථ, විෂ්ණු, සමන්, කතරගම හා පත්තිනි දෙවියන්ට මල් යහන් නැටීම
හැන්දෑ සමයමේ පුද ලබන කලු,රීරි,සූනියම් සහ සන්නි යකුන්ට දොළ දීම
කුමාර පිදේනිය කැප කිරීම
යකුන් නැටීම හා පිදේනි පාවා දීම
පැදුරේ දැපවිල්ල හා මරුවාගේ පැමිණීම
වීදි කැප කිරීම හා මහ සමයම ආරම්භ කිරීම
විලක්කු ගැසීම හා විලක්කු පද නැටීම
වියන් රෙද්ද නැටීම හා පන්දම් කීල ගැසීම
ගිනි සිසිල
මල්ලව අඩව්ව නැටීම
නව මාලය ඔප්පු කිරීම
දලු මුර ඔප්පු කිරීම
චාමර පද නැටීම
දොළහ පෙළපාලිය
කපුයක්කාරිය
දරු නැළවීම
දෙවොල් කුරුම්බර පිදේනිය කැප කිරීම
කුමාර සමයම නැටීම
කළස බිඳීම
ගෙවල් නිවීම
බලිය පාවා දීම
පින් බෙර ගැසීම, සෙත් කිරීම හා ආරක්ෂා කිරීම

මූලාශ්‍ර


කාරියවසම් තිස්ස රටයකුම් යාග විග්‍රහය, 1995: කොළඹ, රුහුණු පොත් ප්‍රකාශකයෝ
කෝට්ටගොඩ ජයසේන පහතරට ශාන්කර්ම සාහිත්‍යය, 1995 : කොළඹ, එස්. ‍ගොඩගේ ප්‍රකාශකයෝ
කෝට්ටගොඩ ජයසේන කලු කුමාරයා පුද ලබන දාරක වත් පිළිවෙත්, 1998 : බොරලැස්ගමුව, ජේ.කේ. පබ්ලිකේෂන්ස්

Thursday, September 22, 2011

දස මහා යෝධයෝ

දස මහා යෝධයෝ

ඇමරිකාවේ අයට මෙන් අපට Comic Books වල එන Superhero මනංකල්පිත චරිත නැති මුත් සැබෑ වීරයෝ අපගේ ඉතිහාසය තුළ සිටිති.

දුටුගැමුණු රජතුමාගේ සේනාවේ රණශූරයන් අතර ප්‍රධාන වන්නේ 'දස මහා යෝධයෝ' ලෙස හැඳින්වෙන රණශූරයන් දස දෙනාය. මේ වීරයන් ගැන නොයෙකුත් ජනප්‍රවාද ඇත. මොවුන් කාය බලයෙන් මෙන්ම ආධ්‍යාත්මික ශක්තියෙන්ද උසස් අය ලෙස දක්වා තිබේ.

Superherosලා සම්බන්ධ කථා වලදී ඔවුන්ට ඒ ආකාරයේ සුවිශේෂී බලයක් ලැබීම පිටසක්වල බලපෑම්, කොස්මික් කිරණ, ජාන විකෘති ආදී බාහිර හේතු වලට ඌනනය කර ඇති බව පෙනේ.

නමුත් සිංහල බෞද්ධ සම්ප්‍රදායේ වීරයන්ට කාය ශක්තිය ලැබීමට හේතු වන්නේ කුසල කර්ම ශක්තිය විනා බාහිර හේතු නොවේ.

මොවුන්ගේ කතා වස්තු ඉදිරිපත් කිරීමේදී මොවුන් මේසා කාය ශක්තියක් ලබා ගැනීමට හේතු වූ අතීත කුසල කර්ම මෙන්ම සමහරකගේ අනාගත උත්පත්ති ගැනද දක්වා තිබේ.

මේවා එකළ සිටි රහතන් වහන්සේලා විසින් ජනතාවට දේශනා කරන්නට ඇති බව සිතිය හැක. සාමාන්‍ය ජනතාවට දහම් දෙසීමේදී මේ යෝධයන්ගේ කථා වස්තූන් එකළ පටන් යොදා ගන්නට ඇත.

කෙසේ වෙතත් සිංහල බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාම මෙම වීරයන් ගැන දැනගත යුතුව ඇත.

දස මහා යෝධයෝ ගැන කෙටි විස්තරයක් පහත සකස් කර ඇත. මෙහිදී 'දෙමළ' හා 'සොලී' යන වදන් ඉතිහාස ග්‍රන්ථ වල එන අර්ථයෙන් යොදා ඇත. එළාර රජු දෙමළ නොවන බවට මත ගණනාවක් ඇති බව කරුණාවෙන් සළකන්න.

(වැඩිදුර කියවීම් - රසවාහිනිය, සද්ධර්මාලංකාරය )

1. නන්දිමිත්‍ර යෝධයා

කකුසඳ බුදුන් සමයේ රහත් නමකට මහ දන් දීමේ ප්‍රතිවිපාකයෙන් දෙව්ලොව බොහෝ සැප විඳ එළාර රජුගේ මිත්ත නම් සෙනෙවියෙකුගේ නැඟනියට පුත්ව ඉපදිණි. කුඩා කලම මහත් කාය බල ඇත. දෙමව්පියන් පසුපස්සේ ඒම වැලැක්වීමට දණගාන කාලයේ පවා සම් පටි ආදියෙන් බැඳ තැබුවද ඒවා කඩා දමයි. වරක් සුවිශාල උණපඳුරක ගැටගැසූ නමුත් උණපඳුර පිටින් කඩා ඇදගෙන ගියේය.

දොලොස් හැවිරිදි කාලයේ මිත්ත නම් සෙනෙවියාට සේවය කළ නමුත් බුදු සසුන වනසන දෙමළුන් දැක කෝපයෙන් රාත්‍රියේ ගොස් ඔවුන් අලවා මරා දමයි. (මහා පින්වත් කෙනෙක් නිසා දෙවියෝ මේ මළසිරුරු අතුරුදහන් කළ බව කියවේ.) දෙමළු විශාල වශයෙන් අඩුවූ නිසා එළාර රජු මේ ගැන සෙවීමට රහස් පරීකෂකවරු යෙදවීය. තනිවම සටන් කිරීමෙන් පළක් නැතිබව දුටු නන්දිමිත්‍ර මාගම් රාජ්‍යයට ගොස් කාවන්තිස්ස රජතුමා හමු විය.

ගැමුණු රජු රජවූ පසු තමන්ගේ අරමුණ ඉටු කරගත් ඔහු එළාර රජු ප්‍රමුඛ දෙමළ සේනාව වනසා පසුව තම නමින් මහා විහාරයක්ද කරවා මරණින් පසු දෙව්ලොව උපත ලැබීය.

නන්දිමිත්‍ර යෝධයා හට ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. වරක් කඩොළැතා දළ දෙකින් අල්වා මෙල්ල කරන ලද්දේ ඔහු විසිනි. කඩොළැතා විසින් බිඳ හෙලූ විජිතපුර යකඩ දොරට ඇතු යට වන්නට යන විට උරහිසින් එය නවතා ඇතු බේරා ගත්තේද ඔහු විසිනි. අතුරඹ ප්‍රදේශයේ මහා තුණ්ඩ නම් දෙමළා මරණ ලද්දේ ඔහු විසින් යයි කියවේ.

2. සුරනිමල යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ සතුන් මරමින් පවුකාර ජීවිතයක් ගත කළ මොහු රහත් නමකට දනක් දී උන්වහන්සේගේ බණ අසා යහපත් ජීවිතයක් ගතකොට නොයෙකුත් කුසල් කොට දෙව්ලොව බොහෝ සැප විඳ කාවන්තිස්ස රජුගේ පුතෙකු වන දීඝාභය රාජ කුමාරයාගේ ජනපදයක උපත ලැබීය.

ඇතුන් දස දෙනෙකුට බල ඇතත් කිසි වැඩක් නොකරණ කම්මැලියෙක් නිසා රාජ කුමාරයා ළඟ සේවයට පිටත් කරන ළදී. අධික වේගයෙන් ඇවිද ගිය ඔහු ඉතා කෙටි කාලයකදී එතැනට ළඟා විය. දීඝාභය කුමරු නොයෙකුත් ක්‍රම වලින් ඔහුගේ ශක්තිය පරීක්ෂා කර කාවන්තිස්ස රජු වෙත පිටත් කළේය. දොළොස් හැවිරිදි තරුණයා දුටු රජතුමා මෙතරම් බාල කෙනෙකුට යෝධයෙක් විය හැකිදැයි සිතා කඩුවක් මුවහත් කිරීමට බාර දුන්නේය. ඉතා සුළු කාලයකින් මේ කටයුත්ත නිම කරණ ලදී.

දීඝජන්තු සටන - පසුව ගැමුණු රජු කාලයේ කඩු ශිල්පයේ කෙළ පැමිණි රණශූරයෙකු ලෙස ප්‍රකට වූ ඔහු එළාර රජුගේ ප්‍රබලම කඩු ශිල්පියා වූ දීඝජන්තු නම් පාතාක යෝධයා පරදවා මරා දැමීය.

අහසේ කරනම් හැසීමේ හපනෙකු වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීම කළ නොහැකි බව දුටු බුද්ධිමත් විහාර මහ දේවිය උපක්‍රමයකින් ඔහු පැරදවීමට සිතා කුඩා කඳවුරු තිස් දෙකක් ඉදිකර ඒවායේ දුටුගැමුණු රජුගේ ස්වරූපයට සමාන ලෙස සකසන ළද පිළිරූ තැබීය. සත්‍ය වශයෙන් රජු සිටියේ 33වන බලකොටුවේය. එළාර රජුගේ අවසාන ආරක්ෂක වලල්ලේ සිටි දීඝජන්තු, ගැමුණු රජු මැරීමට සිතා එක හුස්මට අහසේ කරණම් ගසමින් ඉහත දෙතිස් බලකොටු වල දෙතිස් පිළිරූ වල හිස් කපමින් අවසාන බලකොටුවට ළඟා වෙත්ම සුරනිමල ඔහුට අපහාසාත්මක ලෙස අභියෝග කළේය. දැඩි වෙහෙසට හා කෝපයට පත්ව සිටි දීඝජන්තු අභියෝගයෙන් පලා නොගොස් සුරනිමල වෙත අහසින් පාත් විය. සුරනිමල කළේ තමන්ගේ පළිහ ඔසවා ශරීරය ආවරණය කර ගැනීමයි. පළිහ සමඟම සුරනිමල දෙපළු කිරීමට තරම් පහරක් දීඝජන්තු එල්ල කළත් අවසාන මොහොතේ පළිහ අතහැර සසෙකට පැනීමට සුරනිමල සමත් විය. දීඝජන්තු පළිහ සමඟම බිම පතිත විය. නැවත නැගිටීමට පෙර සුරනිමල විසින් ඔහු මරා දමන ලදී.

තවත් ජනප්‍රවාදයක් කියන්නේ කාන්තාවන්ට ලොල් වූ දීඝජන්තුගේ අවධානය බිඳීමට විහාර මහා දේවිය ඇමක් වශයෙන් යොදා ගත් බවයි. කෙසේ වෙතත් දීඝජන්තු මිය ගිය පසු යුද්ධය පිළිබඳ බලාපොරොත්තු අත්හැරි දෙමළ සේනාව පසුබැස ගිය බව කියවේ. මෙසේ සුරනිමල අධික වේගය හා කඩු ශිල්පය පිළබඳ නමක් දිනා සිටීය.

තවත් එක් කාරණයක් සඳහා ඔහු ප්‍රකටය. එනම් රා බීමයි. විජිතපුර සටනට පෙර පැවති යෝධබල පරීක්ෂණයේදී විශාල රා මඩමක් තනිවම බී අවසාන කිරීමට නියෝග කරන ලදී. අන්‍ය යෝධයෝ මේ කටයුත්ත තමන්ට නුසුදුසු බව පවසා සිටියහ. සුරනිමල මේ කාර්යය ඉටු කළේය. පසු කාලයේ සුරනිමල බොහෝ පින්කම් කළ බව කියවේ.

3. මහාසොණ යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව කුවා ගමක කෙළෙඹියෙකුට පුත්ව ඉපදිණි. මොහු ඉතාමත් රූපසම්පන්න අතර ඇතුන් දස දෙනෙකුගේ බල ඇත. පෙරකී යෝධයන් මෙන් නොව මොහු කාවන්තිස්ස රජුන්ගේ සේනාවට බැඳුනේ අවු. 20-30 අතර කාලයේය. නොයෙකුත් වීරකම් කොට ලංකාද්වීපය එක්සේසත් කරවා පසුව බොහෝ පින්කම් කළ බව කියවේ.


4. ගෝඨඉම්බර යෝධයා

දස මහා යෝධයන් අතරින් මේ ආත්මයේම නිවන් දුටු අය දෙදෙනෙකි. ගෝඨඉම්බර යෝධයා ඉන් එක් අයෙකි. කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව ලක්දිව බොහෝ සම්පත් ඇති පවුලක ඉපදිනි. ඇතුන් දස දෙනෙකුගේ බල ඇතිවද කම්මැලියෙකි. ශරීරයෙන් කොට නිසා නම සෑදිණි. කාවන්තිස්ස රජු මොහුගේ බල අසා ගෙන්වා ගත්තේය. පසුව මහාජත්‍ර නම් දෙමළ නායකයා මරණ ලද්දේ මොහු විසිනි. රා බීමට මෙන්ම උත්සව ශ්‍රීයෙන් ගත කිරීමට කැමති අයෙකි.

ජයසේන යක්ෂයා හා සටන - මෙවන් උත්සවයකදී රිටිගල වසන ජයසේන නම් යක්ෂයා තම භාර්යාවට ආවේශ වීම නිසා කිපුණු ඔහු යක්ෂයා හට සටනට අභියෝග කළේය. යක්ශයන් හා සටන් කොට ජය ගැනීම මිනිසුන්ට කළ නොහැකි බව පවසා පහළ මට්ටමේ දෙවිවරු ගණනාවක් යෝධයා වැලැක්වීමට තැත් කළහ. නමුත් ඔවුන්ට ඇහුම්කන් නොදී ගෝඨඉම්බර සටනට ඉදිරිපත් විය.

මේ සටනේදී යක්ෂයාගේ බොටුව කැඩී යන පරිද්දෙන් ගෝඨඉම්බර විසින් පහරක් එල්ල කරන ලදී. (මෙහිදී යක්ෂයා ගෝඨඉම්බරට වඩා බලවත් වුවද ගෝඨඉම්බර යනු ත්‍රිහේතුක පශ්චිම භවිකයෙකි. යක්ෂයා අහේතුක උපතක් ලද කෙනෙක් නිසා පින්බලයෙන් වැඩි යෝධයා පහසුවෙන් ජය ගත්තේය.) පසුව යක්ෂයාගේ හීස වෙනුවට වලස් හිසක් සවිකළ මහාසෝණා යකා ගැන ජනප්‍රවාදයක් උපත ලැබීය.

මෙම ජයග්‍රණයෙන් උදම් වූ යෝධයා සුරාවෙන් මත්ව රාජ මාලිගාවට ඇතුල් වීමට තැත් කළ අතර ගැමුණු රජුගේ නියෝගයෙන් එය වැලකිණි. මෙයින් ලජ්ජාවට හා කළකිරීමට පත් යෝධයා එදිනම ලංකාද්වීපය හැරදමා භාරත දේශය බලා පිටත්ව ගියේය.

රහතන්වහන්සේලා සොයමින් ගමන් කළ ඔහුට හිමාලයට යන ලෙස උපදෙස් ලැබිණි. හිමාලය පාමුල ගමකින් දැනගන්නට ලැබුනේ රහතන් වහන්සේලා පර්වත මුදුනේ වාසය කරන බවත් පිඬු සිඟා ගැනීමට පමණක් ගමට එන බවත්ය. මෙසේ මඟ විමසමින් ගමන් කරන විට ඔහු දුටුවේ ඍද්ධි බලයෙන් පමණක් යා හැකි උසකින් තිබූ විහාරයකි. මෙතෙක් වෙහෙස වීමෙන්ද රහතන්වහන්සේලා නොදුටු නිසා ශෝකයට පත් ඔහු පර්වත පාමුල තිබූ මහා හෙළකට පැන්නේය.

ඔහුගේ පින් බලයෙන් මෙය දුටු රහත් නමක් ඍද්ධි බලයෙන් ඔහු අල්වා ඔහුගේ කථාවට සවන් දී මහණ කළ සේක. එතුමා සුළු කලකින් රහත් බවට පත් විය.

5. ථෙරපුත්තාභය යෝධයා

මේ ආත්මයේ නිවන් අවබෝධ කර ගත් අනෙක් යෝධයා නම් මොහුය. කාශ්‍යප බුදුන් සමයේ මොහු කුඩා කල සිටම බුදුන් සරණ ගොස් නොයෙකුත් දන් දී පින්කම් කොට දෙව්ලොව සම්පත් විඳ ලංකාවේ සිටු පවුලක උපත ලැබීය. නම් තබන ලද්දේ ගෝඨාභය ලෙසය.

කුඩා කල පටන් මහත් බල ඇත. දාසය හැවිරිදි වියේදී මොහුගේ පියා මහ සුමන නම් රහතන් වහන්සේගෙන් බණ අසා ගිහි ගෙය කළකිරී පුතා සමඟම ගොස් මහණ විය. ඔහු කෙටි කළකින් රහත් වූ අතර ගෝඨාභය සාමණේරයන් වහන්සේ ථෙරපුත්තාභය (තෙරුන් ගේ පුත් අභය ) නම් විය. උන් වහන්සේ තමන් වාසය කළ පන්සලේ පොල් වත්තක් තැනවූහ.

පෙරකී ආකාරයට ගෝඨයිම්බර යෝධයා පළමු වරට රජුන් දකින්නට ගියේ මේ පන්සල අසළිනි. ඔහු සමඟ ගිය පිරිස කුරුම්බා බීමට කැමැත්තක් දැක්වූ නිසා ගෝඨයිම්බර පන්සලේ පොල් ගස් සොලවා පොල් කඩා තම විලුඹින් ඇන ලෙලි ගලවා මිනිසුන්ට දී තමාද පානය කළේය. සාමණේර නම ආ විට උන්වහන්සේ දුටුවේ පන්සල් වත්තේ හැම තැනම පොල් හා පොල් ලෙලි දමා සැඩි කොට ඇති බවය.

ගෝඨයිම්බර නම් යෝධයෙක් මෙය කළ බව දැනගෙන කෝපයට පත් උන් වහන්සේ ගෝඨයිම්බරගේ කකුලින් අලවා පොල් ගස් වල ගසන්නට වූහ. ගෝඨයිම්බර කොතරම් ශක්තිමත් වුවද ඔහුට ගැලවී ගත නොහැකි විය. ඔහු සමඟ සිටි සේනාවද කොතරම් උත්සහ කළද සාමණේර නම අසලටවත් යන්නට නොහැකි විය. අවසානයේ ඔවුහු සියළු දෙනා බැගෑපත්ව යාඥා කොට සමාව ඉල්ලා පොල් වත්තද තනා දෙන බවට පොරොන්දු වී ගෝඨයිම්බර ගලවා ගත්හ.

කලකට පසුව රජතුමා ලක්දිව තවත් යෝධයන් ඇත්දැයි ගෝඨයිම්බර විමසා සිටියේය. යෝධයා කීවේ තමාටද වඩා දහස් ගුණයකින් බලවත් සාමණේර නමක් වාසය කරන බවයි.

වඩා වටින්නේ සිවුරද ශාසනයද? - රජතුමගේ නියෝගයෙන් සාමණේර නම කැඳවාගෙන ඒම ගෝඨයිම්බරට භාර විය. නමුත් සාමණේරයන් වහන්සේ පැවසුවේ ලබා ගැනීමට ඉතා අපහසු නිර්මල බුදු දහම සහිත ශාසනයක මහණ වූ තමා නිර්වාණ සම්පත්තිය හැර දමා කිසි විටකත් නොපැමිණෙන බවයි.

ගෝඨයිම්බර තර්ක කළේ ශාසනය දැඩි ලෙස විනාශයට පත් වන කාලයක තමන් පමණක් සසරින් ගැලවී යාම සුදුසු නොවන බවයි. නිර්මල බුදු දහම තවත් කාලයකට ආරක්ෂා කරදී පසුව නිවන් දැකිය හැකි නොවේදැයි විමසූ ඔහු තමන්ට දීපංකර බුදුන් සමයේ ලැබිය හැකි වූ නිවන් සම්පත්තිය හැරදා ලෝක සත්වයාගේ ගැලවීම උදෙසා බුදු බව පැතූ බෝධිසත්වයන් වහන්සේ ගැනද මතක් කළේය. අවසානයේ සාමණේරයන් වහන්සේ සිවුරු හැරීමට එකඟ විය.

පසුව ලක්දිව එක් සේසත් කොට රජතුමා දුන් වස්තුව හා තානාන්තර කිසිවක් නොගෙන පැරදවීමට තවත් සතුරන් තමාට සිටින බව රජතුමාට පැවසීය.

තමන්ට සතුරන් නැති බවත් ඔබට ඇත්තේ කුමන සතුරෙක්දැයි විමසූ රජුට කෙළෙස් නම් සතුරන් පැරදවීම වඩාත් උත්තම බව පැවසූ යෝධයා රාජ අවසරයෙන් මහණ වී, නොබෝ කලකින් රහත්ව මහත් ප්‍රකට හිමි නමක් වූහ.

6. මහා භරණ යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ මොහු බුදුන් සරණ ගොස් නොයෙකුත් පින් දහම් කොට ඒ කුසලයෙන් බොහෝ කාලයක් දෙව් සැපත් විඳ පසුව රුහුණු රට උපන්නේය. ඔහුගේ පින් බලයෙන් උපන් දවසම මහා නිධානයක්ද පවුලට ලැබිණි. කුඩා කල පටන් මහත් ශක්තිවන්තය. පසුව රාජ සේවයට කැඳවනු ලැබීය. ලක්දිව එක් සේසත් කොට පසුව බොහෝ පින්කම් කළේය.

7. වේළුසුමන යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ මොහු රහතන් වහන්සේ කෙනෙකුට දන් දීමේ විපාකයෙන් දෙව් සැපත් විඳ කාවන්තිස්ස රජුගේ කාලයේ මෙරට උපන්නේය. ඔහුගේ පියාගේ මිත්‍රයන් දෙදෙනෙකුගේ නම් එකතු කොට වේළුසුමන යනුවෙන් නම් තබන ලදී.

මෙම වේළු නම් මිත්‍රයාගේ එක් මෙල්ල කළ නොහැකි යයි සැලකුණු අශ්ව පැටියෙක් මෙල්ල කිරීමෙන් ඔහුගේ බලය ප්‍රකට විය. වේළු නැමැත්තා 'මොහු රාජ්‍ය සේවයට සුදුසුය' සිතා රජු සමීපයට පිටත් කරන ලදී.

විහාර මහා දේවියගේ දොළදුක් - ගැමුණු කුමරා උපදින්නට සිටින් විට මවට දොළදුක් හතරක් පමණ උපන් බව දක්වා තිබේ. රියන් සියයක් දිග මී වදයක් සංඝයාට දී තමාද කෑම ඉන් එකකි. මෙය කුමරාගේ පින් බලයෙන්ම ඉටු විය. ඉතිරි දොළදුක් (තිසා වැවෙන් පැන් නෑමට හා බීමට, එළාර රජුගේ නායක යෝධයාගේ හිස කැපූ කඩුව සෝදා ජලය බීම, එළාර රජුගේ මහනෙල් මල් පැළදීම ) සංසිඳුවීමට වේළුසුමන ක්‍රියා කළේය.

මේ සඳහා ඔහු තමා එළාර රජුට පක්ෂපාතී අයෙකු ළෙස හඟවා එළාර රජුගේ අස්ගාල රැක බලා ගැනීමේ කාර්යය බාර ගත්තේය. ඉන්පසු එහි සිටින ශක්තිමත්ම අසෙකු වන රණමද්දව නම් අසෙකු හොඳින් හික්මවා තබා ගත් ඔහු එක් දිනක තිසා වැවෙන් පැන් කළයක්, මහනෙල් මල් ආදිය සකස් කොට අශ්වයා සොරාගෙන තමා වේළුසුමන බව පවසා පළා ගියේය.

ඔහු මරා දැමීමට සොලී රජු විසින් එවන ලද යෝධයන් දෙදෙනා ඔහු විසින් මරන ලදී. පසුව ඔහුගේ ගමන නැවැත්වීමට තැත් කළ මහවැලි ගඟේ වඩමන්න නම් තොට රැකවල් සිටි දහසක් පමණ දෙමළ සෙබළුන්ද ගඟේ අනක් පස රැකවල් සිටි ව්ඩ්ඨමාන නම් දෙමළ යෝධයා ඇතුළු දහසක් දෙනාද තනිවම සටන් කොට මරා දැමීමට ඔහු සමත් විය (මේ ස්ථාන දෙකට පිළිවෙලින් දහස්තොට හා දහස්මඬලාතොට යනුවෙන් ව්‍යවහාර විය ).

ගැමුණු කුමරු රජවන විට මොහු මැදිවියේ සිටින්නට ඇතැයි සිතිය හැක. මොහු සටන් කළේ බොහෝ විට අසු පිටය. ලක්දිව එක් සේසත් කිරීමෙන් පසු කුසල් කොට දෙව්ලොව උපන් බව දක්වා තිබේ.


8. ඛඤ්ඡදේව යෝධයා

කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු බුදුන් සරණ ගොස් මහවනයක් මැද පන්සලක් තනවා එක් භික්ෂූන් වහන්සේ නමකට පුදා දාන මාන හා සිවුරු පිරිකර පිදීය. මේ කුසලයෙන් බොහෝ දෙව් සැපත් විඳ මෙරට බොහෝ සම්පත් ඇති නිවසක උපත ලැබීය. ඔහු සියළු ආයුධ හරඹයේ කෙළ පැමිණි අතර මහත් ශක්තිවන්ත විය. ඔහු ගැන අසා කාවන්තිස්ස රජතුමා ගෙන්වා ගත් අතර පසුව ලක්දිව එක් සේසත් කොට බොහෝ කුසල් රැස් කළේය.

9. ඵුස්සදේව යෝධයා

කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු බුදුන් සරණ ගොස් ජීවිතය ඇති තුරා තුණුරුවන් පුදා බොහෝ දෙව් සැපත් විඳ රුහුණු රට උපත ලැබීය. ඵුස නැකතින් උපන් නිසා ඵුස්සදේව ලෙස නම් තබන ලදී.

සත් හැවිරිදි වියේ විහාරයක පූජාවට තිබූ ශංඛයක් (හක්ගෙඩියක්) ගෙන පිම්බේය. මේ ශබ්දය ගව් ගණනක් පැතිරී ගිය අතර ඒ අසා සමීප වනයේ වසන සියළු සතුන් බියෙන් භ්‍රාන්ත වී බිම වැටුණි. අසල සිටි මිනිසුන්ද සිහි නැතිව වැටුණි. මින් පසු ඵුස්සදේව යෝධයා නමින් ප්‍රකට විය.

මොහුගේ වංශයේ බොහෝ කාලයක් තිස්සේ ධනු ශිල්පයක් පැවත එන අතර ඵුස්සදේව ගේ පියා ඔහුව මේ ශිල්පයේ ප්‍රගුණ කරවීය. දොලොස් හැවිරිදි වියේදී ධනු ශිල්පයේ ඔහු හා සමාන කෙනෙක් නැති විය. ශබ්දයට විදීම ආදී රහස් ශිල්ප ක්‍රමද හස්ති, අශ්ව ආදී ශිල්ප ගණනාවක්ද උගත්තේය.

පසුව කාවන්තිස්ස රජු විසින් ගෙන්වා ගන්නා ලදී. ගැමුණු කුමරුගේ ඉතාමත් විශ්වාසවන්තම යෝධයෙකු වූ ඔහු නිරන්තරයෙන් රජුගේ ආරක්ශාව සඳහා එතුමා අසළින්ම සිටි බව පෙනේ.

භල්ලුක සටන - එළාර රජු මරා දැමීමෙන් පසු ඔහුගේ බෑනා කෙනෙකු වන ධනු ශිපයට ප්‍රකට "භල්ලුක" ලංකාවට ගොඩ බැස කුළී සේනාවක් සමඟ ගැමුණු රජු හා සටනට ආවේය.

මෙහිදී කඩොලැතා බලාපොරොත්තු නොවූ ලෙස පසු බසින්නට වූ අතර (රජතුමා සිටියේ ඇතා පිට නිසා ඇතා සමඟ සියළු සේනාවම පසු බසින්නට විය ) ගැමුණු රජු ඵුස්සදේව අමතා මෙතරම් මහ සටන් වලදීත් පසු නොබැස සටන් කළ කඩොලැතා භල්ලුකගේ සේනාව හමුවේ පසු බසින්නේ ඇයිදැයි විමසා සිටියේය. මෙයට පිළිතුරු දෙන යෝධයා තමන් සිටින ස්ථානය ජය බිමක් නොවන නිසා ඇතා පසු බසින බවත් ජය බිමක් හමුවූ තැන ඔහු නතර වනු ඇති බවත් ප්‍රකාශ කළේය. පසුව මහා විහාර සීමාව අසළ ඇතු නතර විය.

මේ අවස්ථාවේ භල්ලුකයා ගැමුණු රජුගේ මුඛයට විදින්නට සිතා ඊතලයක් අමුණාගෙන මුඛයට ඉලක්ක කොට රජු ඇමතීය. ගැමුණු රජු පිළිතුරු දුන්නේ කඩුපතින් මුව වසා ගෙනය. භල්ලුක එල්ල කළ හීය කඩුවේ වැදී බිම වැටිණි. ගැමුණු රජතුමා එවිට කටේ තිබූ බුලත් විට බිමට දැමීය. තම ඉලක්කය නිවැරදි යයි සිතූ භල්ලුකයා ඔල්වරසන් හඬ පවත්වන අතර ඒ සිදුවීමෙන් කෝපයට පත් ඵුස්සදේව ඊතලයක් අතට ගන්නට වත් නොසිතා රජුගේ කුණ්ඩලාභරණය කඩා භල්ලුකයාගේ කටට විදිදේය.

මින් ක්ෂණිකව මරණයට පත් දෙමළ නායකයා බිම වැටෙන්නට ගියේ පිටුපසටය (එනම් ගැමුණු රජුගේ දිශාවට පය ලා ගෙනය ). මෙයද ගැමුණු රජුට අගෞරවයක් යයි සිතූ ඵුස්සදේව අනෙක් කුණ්ඩලාභරණයද කඩා භල්ලුකයාගේ පාදයකට විදිදේය. භල්ලුක බිම වැටුනේ ගැමුණු රජුගේ දිශාවට හිස ලා ගෙනය. කුලී සේනාව සටන් නොකොට පලා ගියේය.

නමුත් තමා කළ ක්‍රියාව ගැන පසුතැවිල්ලට පත් යෝධයා ඒ ක්‍රියාවට දඩුවමක් ලෙස තමන්ගේ කන් පෙති කපා ලේ ගෙන ගැමුණු රජුට පෙන්වීය. රජතුමා දොම්නසට පැමිණ තමන්ගේ සතුරන් පැරදවීම සඳහා කළ ඒ ක්‍රියාවේ වරදක් නැති බව කියා ඊතල දෙකක් එකට අමුණා සිටුවා ඒවා වැසෙන තරම් මසුරන් ගොඩක් ත්‍යාග වශයෙන් ඵුස්සදේවට ලබා දුන්නේය.

10. ලභියවසභ යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ මොහු බුදුන්ගෙන් බණ අසා නොයෙක් ලෙස දන් දී වසර විසි දහසක් තිස්සේ පන්සිල් රක්ෂා කළේය. පසුව බොහෝ දෙව් සැප විඳ මෙරට බොහෝ සම්පත් ඇති පවුලක උපන්නේය. පන්සිල් රැකි බලයෙන් අතිශය රූප සම්පන්නය. සියළු යෝධයන්ගෙන් වඩාත්ම කඩවසම් තැනැත්තා මොහු විය.

යහපත් රූපයක් ඇති නිසා ලභියවසභ නම යෙදිණි. ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. කඩු හරඹයේ ප්‍රකට විය ඉතා කුඩා කළකින් වැවක් තනා නිමකළ අතර ඒ වැව කාවන්තිස්ස රජුන් විසින් ඔහුටම පවරා දෙනු ලැබීය (ලභියවසභ වැව නම් වේ). පසුව ගැමුණු රජු හා එක්ව ලක්දිව එක් සේසත් කොට බොහෝ කුසල් රැස් කළේය.


http://www.elakiri.com/forum/showthread.php?t=1189396

Monday, September 12, 2011

කොසොල් රජතුමා දුටු සිහින 16

කොසොල් රජතුමා දුටු සිහින 16


පළමු සිහිනය

‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි.


තථාගතයන් වහන්සේ මෙම සිහිනය විවරණය කරමින් ‘රජතුමනි! මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය.

එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇති වන්නේය. සතර දිගින් වැසි වළාකුළු පැමිණි විට මිනිසුන් උදළු රැගෙන ඇළ වේලි බැදීමට සැරසෙති. එහෙත් වැසි වැටීමට මෙන් අහස ගිගුරුවද අවසානයේදී වැසි නොවැටෙන්නේය. මෙමගින් රටේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව මෙම පළමු සිහිනය දතයුතුය.


දෙවන සිහිනය

ස්වාමීනී මා විසින් දකින ලද දෙවන සිහිනය මෙසේය, ඉතා කුඩා පැළෑටි හා පදුරු පොළොවෙන් මතු වී පැමිණ වියතක් හෝ දෙකක පමණ වැඩුණු පසු මල් පල දරයි.ස්වාමීනී මෙම දෙවන සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?


මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵල දැකගත හැක්කේ බොහෝ කාලයක් ඇවෑමෙනි. එනම් මිනිසාගේ ආයු පිරිහී යන විට ඉතා කෙටි කාලයක් ජීවත් වන අවදියක් උදා වන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරන්නේය.එබැවින් ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බව මෙම සිහිනයෙන් ප්‍රකාශ වන බව දැනගත යුතු යැයි එම දෙවන සිහිනය තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කළ සේක.


තෙවන සිහිනය

ස්වාමීනී, මාදුටු තෙවන සිහිනය නම්, දෙන්නු එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි උරාබීමය.


‘ මහ රජතුමනි! මෙහි ප්‍රතිඵලය අනාගතයේදී මිනිසුන් තම දෙමාපියන්ට නොසලකා පවුලේ සියලු දේපල සියල්ල තම යටතට ගැනීම බව දත යුතුය.එවිට දෙමාපියන් අසරණ වී ඔවුන් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත්වන්නේය.මෙය තෙවන සිහින පලාපලය වන්නේය.


සිව්වන සිහිනය

ස්වාමීනි සිව්වන සිහිනය නම්, ගැළ නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති. එම බර ඇද යාමට නොහැකි වූ පැටවුන් නිසලව සිටිති.


‘මහරජතුමනි!, මෙම සිහිනයේ ප්‍රතිඵලය ද අනාගතයේදී ලැබෙන්නේය. අනාගතයේ දී රජවරු අධර්මිෂ්ට වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති. රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරුවලට පත් කරති. මෙම අදක්ෂයින් තනතුරු වලට පත් වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිව්වන සිහිනයෙන් කියවෙන බව දතයුත්තේය.


පස්වන සිහිනය

ස්වාමීනි මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය.


‘මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත - චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.

හයවන සිහිනය

ස්වාමීනි මා දුටු හයවන සිහිනය නම්, මනාව ඔප දමන ලද කහවනු ලක්ෂයක් වටිනා රන්තලියක මහළු සිවලෙකු මුත්‍රා කිරීමය.


රජතුමනි, අනාගතයේදී අදමිටු රජවරු රජ පරපුර නොසලකා නීචයන්ට උසස් ස්ථාන ලබා දෙති. අනතුරුව නීචයන් උදෙසා තම රාජකීය දියණිවරු සරණපාවා දෙති. මින් උසස් රාජ වංශයන් කෙළෙසී යන බව දතයුතුය.


සත්වන සිහිනය

ස්වාමීනි මා දුටු සත්වන සිහිනය නම්, මිනිසෙකු ලණුවක් අඹරමින් සිටියි. ඔහු ලණුව අඹර අඹරා තමා සිටින පුටුව යටට දමයි.යට සිටින සිවල් දෙනක විසින් එය කොටසින් කොටස ගිල දමයි. මෙය සිදුවන්නේ ලණුව අඹරන මිනිසාගේ දැනුමෙන් තොරවය.


මහරජතුමනි! මෙයින්ද ඔබට අනතුරක් නැත. මෙය ද අනාගතයේ සිදුවන දෙයකි.එනම් අනාගතයේදී කාන්තාවෝ පිරිමින් සමග මත් පැන් බොමින් තම සැමියන් විසින් මහන්සි වී උපයන ධනය විනාශ කර දමති. එය මහළු සිවලිය මිනිසා කොටස් වශයෙන් අඹරන ලණුව ගිලදමන්නා මෙන් යැයි දතයුතුය.


අට වන සිහිනය

ස්වාමීනි මා දුටු අට වන සිහිනය නම් රජ මාලිගයේ මුවවිට දක්වා දිය පිරුණ සැළියක් ඇත. එය වටා කිසිදු දිය බිදක් නැති හිස් කළ රාශියක් ඇත. සතර දෙසින් වැල නොකැඩී ගලා එන මහ ජනකාය ජලය පිරී ඇති දිය සැළියට ජලය බහා ලති. දිය සැළිය පිරී ඉතිරී යයි.එහෙත් කිසිවෙකු හිස්බදුන් වලට දිය නොදමති.



මහරජතුමනි! මෙම සිහිනය ද ඔබගේ කාලයේ විපාක නොදෙන්නකි. කාලය ගතවත්ම ලෝකය පිරිහෙන විට රාජධානිද පිරිහෙයි. රජවරු දිළිදු වී බලවත්ම රජුගේ ධනය කහවනු ලක්ෂය දක්වා පහල යයි.අනතුරුව රාජධානි වල වැසියන් රජුගේ කටයුතුවල පමණක් යොදවති.රජු ධනවත් වන අතර ජනතාව දිළිඳු වී දුක්බරිත වන බව මෙයින් දතයුතුය.


නව වන සිහිනය

ස්වාමීනි! මාදුටු නව වන සිහිනය නම්, හාත්පසින්ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිවුපා සතුන් දිය බීමට පැමිණෙත්. එහි මැද ප්‍රදේශයෙහි මඩ සහිතය. එහි නොයෙක් සතුන් දියබීමට පැමිණ ඇත.


මහරජතුමනි! අනාගතයේදී රජවරු අධර්මිෂ්ට වී හිතුමනාපයේ රාජ්‍ය පාලනය කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඩු මිරිකන්නා සේ ජනතාවගේ ශ්‍රමය සූරා ධනය උදුරා ගන්නේය.


දසවන සිහිනය

ස්වාමීනි! දසවන සිහිනය නම්, කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව බතක් පිසෙනු ලැබේ. එම බත කොටස් 3 කට බෙදී එක් කොටසක් බෙරිවී ඇත. අනෙක් කොටස අමුය. ඉතිරි කොටස මනාව පැසී ඇත.



මහරජතුමනි! අනාගතයේදී අදමිටු රජවරු පහළවීම නිසා වැසියෝ ද අදමිටු වෙති.ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා අධර්මිෂ්ට වෙති. මෙසේ වන විට ඔවුන් රකින දෙවිවරුද අධර්මිෂ්ට වෙති.මේ අධර්මිෂ්ට රාජධානි හරහා හමායන සුළං ක්‍රමවත් නොවීම නිසා රටේ එක් පෙදෙසකට දරුණු නියගය ද එක් ප්‍රදේශයකට දරුණු ගංවතුර ද ඇති වී මහත් විනාශයන් ඇති වන විට තවත් ප්‍රදේශයක් බොහෝ සශ්‍රී ක වන බව මෙයින් කියවෙන්නේය.



එකොළොස් වන සිහිනය

ස්වාමීනි! මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.


මහරජතුමනි! අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති.ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති. මෙය එකොළොස්වන සිහිනයේ පලාඵළය වන්නේය.


දොළොස් වන සිහිනය

ස්වාමීනි! මා දුටු දොළොස් වන සිහිනය නම් ලබු කබල් දියෙහි කිදා බැසීමය.


මහරජතුමනි! මෙම සිහිනයද අනාගතයේ අධර්මිෂ්ට රජවරු නිසා ඇතිවන්නකි. මෙම යුගයේදී නොයෙක් නීච කුල ජාතිකයන් රජ වෙති. එවිට පහත් ගති ඇත්තේ බලයට පත්වෙති. එවිට ලාමක ගති ඇත්තන් අධිකරණ සේවයේ යෙදවීම නිසා නීතිය වල් වැදී යන බව මෙයින් කියවෙන්නේය.


දහතුන් වන සිහිනය

ස්වාමීනි! දහතුන් වන සිහිනය නම් සුවිසල් පර්වත දියෙහි පාවී යාමය.


රජතුමනි අනාගතයේ දී සම්භාවනීය පුද්ගලයෝ තනතුරුවලින් නෙරපා පහත් පුද්ගලයින් සේවයේ යොදවත්. මෙමගින් සමාජ සංස්ථාව මහත් පීඩාවට පත්ව රාජ්‍ය ද පිරිහී යන බව දත යුතුය.



දහහතර වන සිහිනය

ස්වාමීනි මාදුටු දහ හතර වන සිහිනය නම් කුඩා මැඩියන් විශාල නාගයන් ගිලදැමීමය.


රජතුමනි, අනාගතයේදී බොහෝ පිරිමින් වියපත් වුවද තරුණ කාන්තාවන් සමග සල්ලාලකම් වල යෙදෙති. මෙම තාවකාලික අඹුවන් සොර සැමියන් වහළුන් බවට පත් කොට සලකති.



පහලොස්වන සිහිනය

ස්වාමීනි! පසළොස් වන සිහිනය නම් කපුටෙකු රන්වන් හංස රංචුවක විසින් පිරිවරා සිටීමය.


රජතුමනි, අනාගතයේ දී කිසිදු යුධ ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය.එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය.

දහසයවන සිහිනය

ස්වාමීනි! දහසය වන සිහිනය නම් එළුවන් විසින් අදුන් දිවියන් ගොදුරු කර ගැනීමකි.එළුවන් විසින් අදුන් දිවියන් පසු පස හඹාගොස් ඔවුන් ගොදුර කර ගනිත්. ස්වාමීනි එළුවන් දුටුවිට අදුන් දිවියන් බියවී වනාන්තරයෙහි සැගවෙත්. ස්වාමීනි! මෙම අවසාන සිහිනයේ තතු කෙසේද?


මහරජතුමනි! අනාගතයේදී අධර්මිෂ්ට රජවරු ලොව පහල වූ විට ඔවුන් පහත් කුලවල නීච ගති ඇත්තන් තනතුරුවලට පත්කරති. අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැගවෙති.

කොසොල් රජු දුටු සිහින

ඒ දවස් වල දිඟු පුළුල් නිල්නුවන් ඇති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ යි. එහි දී මහා සිහින දහසය මුල් කොටගෙන මේ ජාතක කථාව දේශනා කොට වදාළ සේක.

එක දවසක් කොසොල් රජතුමා රාත්‍රියේ නිදාගත් පසුව, පාන්දර ජාමයේ සිහින දහසයක් දැක්කා. ඒ සිහින දැකල භයින් තැති අරගෙන අවදි වුණා. ‘මේ සිහින දැක්ක නිසා මට මොකක් වෙයි දෝ..?’ කියල මරණ භයෙන් බයට පත්වෙලා, නිදා නො ගෙන ඇ‍ඳේ ඉඳගෙන ම එළිය වැටෙනතෙක් කාලය ගෙව්වා.

ඉර උදාවුනායින් පස්සේ ශාන්ති බ්‍රාහමණයා සහ පුරෝහිත බ්‍රාහමණයා රජ්ජුරුවන් ළගට ඇවිල්ලා, ‘ස්වාමීනි රජ්ජුරුවන් වහන්ස, රාත්‍රියෙහි සැපසේ කායල ගත කළා ද?’ කියා ඇහුවා.

එතකොට රජ්ජුරුවො කියනවා, ‘ආචාර්යයෙනි, මට කොහෙන් ද සැපක්..? මම අද පාන්දර හීන දාසයක් දැක්කා. ඒව දැකපු වෙලේ ඉඳන් මම මේ බයෙන් ඉන්නෙ. ඒව ගෙ දෝෂය මට කියන්න..’

‘එහෙනම් රජතුමනි අපට දැකපු හීන ගැන කියන්න’, කියා ඒ බමුණෝ රජතුමාට කිව්වා. රජතුමා ත් ඉතින් තමන් දැකපු හීන ගැන බමුණන්ට කිව්වා. කියල ඇහුවා මේ වගේ හීන පේන්න හේතුව මොකක් ද කියලා.

ඒ වෙලාවේ ඒ බමුණෝ තමන් ගේ අත් එහාට මෙහාට වැනුවා. රජතුමා ඇහුවා ඒ මොකද කියලා. එතකොට බමුණෝ කියනවා, “මහරජතුමනි ‍මේවා බොහෝම කර්කෂ හීන” කියලා. ඉතින් රජතුමා නැවත ඇහුවා ඒ හීන වල විපාක මොනවා ද කියා. ඉතින් බමුණෝ කිව්වා, ‘රජතුමනි මේ හීන වලින් පෙන්වන්නේ ඔබ වහන්සේට රාජඅන්තරාය, භෝග අන්තරාය, ජීවිත අන්තරාය කියන මේ තුන් අන්තරායන් අතරින් එක්තරා අන්තරායයක් වෙනවා’ කියන එක යි.

කොසොල් රජතුමා හොඳට ම භය වුණා. භය වෙලා ඇහුවා මේ විපත්ති වලින් ගැලවෙන්නට ක්‍රමයක් තිබෙනවා ද කියලා. ඒ වෙලාවේ ඒ පුරෝහිත බමුණන් කියනවා ‘රජතුමනි මේ හීන ඉතා ම තද බල ඒවා. ඒ නිසා පිළියම් කරන්නට බැහැ, නමුත් අපි ඒවා පිළියම් කළ හැකි ස්වභාවයට පත් කරන්නම්, ඒ වගේ දෙයක් කරන්නට බැරි නම් අපි ඉගෙන ගත්ත දේවල් වලින් ඇති ප්‍රයොජ‍නේ මොකක් ද?’

“එහෙනම් ආචාර්ය වරුනි මොකක් ද ඒ සදහා කළ යුත්තේ..?”

“මහරජතුමනි ඒ සඳහා හැම දේකින් ම හතර ගානෙ අරගෙන කරන සර්ව චතුස්ක කියන යාගය කරන්ට ඕන.”

මේ වෙනකොට කොසොල් රජතුමා හොඳට ම භය වෙලයි හිටියෙ, ඉතින් රජතුමා කිව්වා, ‘අනේ ආචාරීනි, දැන් ඉතින් මගේ ජීවිතය තිබෙන්නේ ඔබලා අ‍තෙයි. ඉක්මණට ම මට යහපත වෙන දෙයක් කරන්න.’

ඉතින් රජතුමා කියපු මේ වචනය අහල ඒ බමුණො ටික, ‘දැන් අපිට බොහෝ වස්තුව ත් ලබා ගන්නට පුලුවන්, කන බොන දේවලුත් ගෙන්වා ගන්ට පුලුවන්’ කියල හරි ම සතුටෙන් රජතුමා ව සනසල මාලිගාවෙන් පිටත් වෙලා ගියා. ගිහින් නුවරින් පිටත යාග ආවාටයක් හැදුවා. ඊ ළගට, හරක්, එලුවො, බැටලුවො වගේ ගොඩාක් සිව් පා සත්තු ගෙනල්ලා යාග කනුවේ බැන්ඳා. ඊට පස්සේ විවිධ කුරුල්ලො ජාතිත් ගෙනල්ලා ගැටගැහුවා. දැන් ‘මේක ගෙන්න.. මේක ගේන්න’ කිය කියා එහාට මෙහාට ඇවිදිනවා.

මේ බමුණො කෑ කොස්සන් ගසමින් එහාට මෙහාට යනව මල්ලිකා දේවිය දැක්කා. දැකල රජතුමා ගාවට ගිහිල්ලා අහනවා, ‘මහ රජතුමනි මේ බමුණෝ නැවත නැවත එහාට මෙහාට ඇවිදින්නේ ඇයි…?’

“අනේ හැබෑට ම මල්ලිකා.. ඔයා නම් හොඳ සැපෙන් ඉන්නවා.. ඒත් මගේ කම්මු‍ලේ සර්පයෝ ඇවිද්දත් ඔහේ දන්නෙ නැහැ නෙව..”

“මහ රජ්ජුරුවන් වහන්ස ඇයි එහෙම දෙයක් කියන්නේ…?” මල්ලිකා දේවිය ඇසුවා.

එතකොට රජතුමා සිදු වූ දේ කියා සිටියා. දැන් මේ බමුණන් යාගයකට ලක ලෑස්ති වෙන බවත් පැවසුවා.

මල්ලිකා දේවිය හරි ශ්‍රද්ධාවන්ත යි . ඒ වගේ ම බුද්ධිමත්. ඉතින් මල්ලිකා දේවිය රජතුමාට මෙහෙම කිව්වා..

“මහ රජ්ජුරුවන් වහන්ස, මේ දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ අග්‍රබ්‍රාහ්මණයාණන් වහන්සේ ගෙන් ඔබ මේ සිහින වලට කළ යුතු දේ ගැන ඇහුව ද?”

“සොඳුර ඒ දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ අග්‍රබ්‍රාහමණ වුණ කෙනා කවුද..?”

“අහෝ ස්වාමීනි දෙවියන් මිනිසුන් සහිත වූ ලෝකයේ අග්‍රපුද්ගලයන් වහන්සේ වූ, හැම ධර්මයක් ම හැම ආකාරයෙන් ම විශේෂයෙන් දන්නා වූ, පරම පිරිසිදු චිත්ත සන්තානයක් ඇති, නික්ලේශී වූ මහාබ්‍රහමයාණන් වහන්සේව ඔබ අඳුනනේ නැති ද? ඒ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ මේ සිහින වල ‍තොරතුරු ඒකාන්තයෙන් ම දන්නවා. වඩින්න මහරජ්ජුරුවන් වහන්ස ඒ සර්‍වඥයන් වහන්සේ අතින් මේ කාරණය අසා දැනගන්න.”

මල්ලිකා දේවිය මෙහෙම කිව්වා ම රජතුමා ත් ‘හොඳයි දේවිනි’කියල විහාරයට ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරල එකත් පසෙකින් ඉඳ ගත්තා. සර්‍වඥයන්වහන්සේ තමන් වහන්සේ ගේ මිහිරි ස්වරය විහිදුවලා, “මහරජ්ජතුමනි මොකද මේ උදෑසන ම පැමිණියේ..?” කියා අසා වදාළා.

එතකොට රජතුමා කියනවා, “ස්වාමීනි මම අද පාන්දර සිහින දහසයක් දැක්කා. දැකල හොඳට ම භය වුනා. ඒ ගැන බමුණන්ට කිවවා. ඒ බමුණෝ ඒක අහල ‘මහරජ්ජුරුවන් වහන්ස, ඒ හීන නම් ඉතාම දරුණු යි, ඉතා රූක්‍ෂ යි, ඒ හීන වල විපාක විනාශ කිරීමට අපි චතුෂ්කයෙන් යාගයක් කරමු’, කියලා යාගය සරසනවා. ඒක නිසා ගොඩාක් සත්තු මරණභයින් බයවෙලයි ඉන්නෙ.

ඔබවහන්සේ මේ දෙව්මිනිසන් සහිත ලෝකයේ අග්‍රපුද්ගලයාණන් වහන්සේ. ඔබවහන්සේ ගේ ඥානයට අසු නො වන කිසි ම දෙයක් අතීත අනාගත වර්‍තමානයේ කොහෙත් ම නැහැ. ඒ නිසා ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මේ හීන වල විපාක දේශනා කරන සේක්වා..”

“මහ රජ්ජුරුවනි, එය එසේ ම යි. දෙව් මිනිසුන් සහිත වූ ලෝකයෙහි මේ සිහින වල තොරතුරු විපාක දකින්නට හැකියාව ඇති කෙනෙක්, මා හැරුනු විට ඇත්තේ නැහැ. ඒ නිසා මම ඔබට දේශනා කරන්නම්.. එසේ වුවත් ඔබ දුටු ආකාරයෙන් ම එම හීන ප්‍රකාශ කරන්න.”

“එහෙම යි, ස්වාමීනි” කියල රජ්ජුරුවෝ තමන් දැකපු පළවෙනි හීනය ගැන ගාථාවකින් මෙහෙම කිව්වා.
‘‘උසභා රුක්‌ඛා ගාවියො ගවා ච,
අස්‌සො කංසො සිඞ්‌ගාලී ච කුම්‌භො;
පොක්‌ඛරණී ච අපාකචන්‌දනං.

ලාබූනි සීදන්‌ති සිලා ප්‌ලවන්‌ති, මණ්‌ඩූකියො කණ්‌හසප්‌පෙ ගිලන්‌ති;
කාකං සුවණ්‌ණා පරිවාරයන්‌ති, තසා වකා එළකානං භයා හී’’ති.

ස්වාමීනී, මම පළවෙනි හීනෙ දැක්කෙ මෙන්න මේ විදියට යි.

ස්වාමීනි, අඤ්ජන වර්ණයෙන් යුක්ත කළු පාට ගොන්නු හතර දෙනෙක් යුද්ධ කරන්නට කියල හතර දිශාවෙන් රාජාංගනයට ආවා. මහජනයා ත් ‘මේ වෘසභ යුද්ධය බලමු’කියල එක් රැස් වුණා. ඒ විදියට එක් රැස් වුනා ම ඒ ගොනුන් හතර දෙනා යුද්ධ කරනවා වගේ ස්වභාවයක් පෙන්වලා, ගර්ජනා කරල ඒ ඒ පැත්තට පැනල ගියා. මේක තමයි මම දැකපු පළමුවෙනි හීනය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස මේ සිහිනයේ විපාක ය මොකක් ද?”

“මහ රජතුමනි, මේ සිහිනයේ කරුණු සිද්ද වෙන්නේ ඔබ ගේ කාලයේ වත් අප ගේ කාලයෙන් වත් නො වෙයි. අනාගයේ අධර්මිෂ්ඨ වූ අයහපත් වූ රජවරුන් හා මිනිසුන් ලෝකයේ බිහි වෙනවා. ඒ කාලයේ තමයි මෙහි විපාක සිදු වන්නේ. ඒ කාලයේ මිනිසුන් ලෝකයේ යහපත පෙරලන්ට පටන් ගන්නවා. කුසලය පසුබැස යනවා. අකුසලය උත්සන්නව යනවා. කුසලය යට යනවා. අකුසලය මතුව එනවා. ලෝකය පිරිහෙන ඒ කාලයේ වර්‍ෂාව යහපත් විදියට හොඳින් වසින්නේ නැහැ. වැසි ඇතිකරන කරුණු සිඳී යනවා. භව භෝග මලානික වී යනවා. ඒ නිසා දුර්භික්‍ෂ ඇතිවෙනවා. වැසි වසින්නට මෙන් කලු වළාකුළු සතර දිගින් නැගී එනවා. ස්ත්‍රීන් අව්වෙහි වැනූ වී ආදිය තෙමෙයි යන භ‍යෙන් ගෙවල් ඇතුළට ගන්නවා. පුරුෂයන් උදළු ආදිය ගෙන අමුනු නියර බඳින්ට නික්මෙණවා. එවිට වසින ස්වභාවයක් දක්වා, ‍ගර්ජනා කොට විදුලි කොටා, වර්ෂාව ඇති නො වීම වළාකුළු පහව යනවා. ඒක හරියට අඳුන් පැහැති කළු ගොන් හතර දෙනා ගොන් පොරයකට මෙන් රාජංගනයට පැමිණ, මිනිසුන් එය බලන්නට රැස් වූ විට, පොර කන ස්වභාවයක් දක්වා, ගර්ජනා කොට ඒ ඒ තැන පලා යනවා වගෙයි.

මේ සිහිනයෙන් කියවෙන්නේ එය යි. ඔබට මේ සිහියන දැකීමෙන් කිසි අන්තරායක් ඇති වන්නේ නැහැ. අනාගයේ සිදු වන දෙයක් පිළිබඳ ව යි මේ සිහිනයෙන් දැක්වෙන්නේ. ඔබ ගේ බමුණෝ තමන් ගේ ජීවිකාව නිසා, යාග කිරීමෙන් සංසිඳී යන බව පැවසුවා.”

මේ විදියට බුදු රජාණන් වහන්සේ පළමු වැනි සිහිනයේ කරුණු විස්තර කොට කොසොල් රජතුමාට දෙවැනි සිහිනය පවසන ලෙස වදාළා.
ඉතින් කොසොල් රජතුමා තමන් දුටු දෙවනි සිහිනය ගැන මේ විදියට ප්‍රකාශ කළා.

දෙවෙනි සිහිනය…

“සවාමීනි, මම දෙවෙනි හීනේ දැක්කෙ මේ විදියට යි. කුඩාරුක් සහ ගස් පොළොව පලාගෙන උඩට ඇවිල්ලා, වියතක් විතර වත් රියනක් විතර වත් උසට හැදෙන්නෙ නැතිව තිබෙද්දි ම ඒවායේ මලු ත් පිපෙනවා. ගෙඩි ත් හැදෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේක තමයි මම දැක්ක දෙවෙනි හීනය. මේකේ විපාක මොනවා ද?”

“මහ රජතුමනි, මේ සිහිනයෙන් පෙනුන කරුණ ත් ලෝකය පිරිහෙන කාලයේ, මිනිසුන් ගේ ආයුෂ අඩුවුන කාලයේ තමයි සිදු වෙන්නේ. එම කාලයේ සත්වයින් අධික රාගයෙන් යුක්ත අය බවට පත් වෙනවා. නිසි වයසට පත් නො වූ කුඩා ගැහැණු ළමයි පිරිමින් සමග වාසය කරනවා. ඔවුන් ගර්භනී වී දරුවන් ලැබෙනවා. කුඩා ගස් වල මල් මෙන් ඔවුන් ගේ සෘතුමතී බව සිදු වෙනවා. එම ගස් වල ගෙඩි මෙන් දූ දරුවන් ලැබීම සිදු වෙනවා. මහරජතුමනි, මේ කාරණයෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා තුන්වෙනි සිහිනය කියන්න.

තුන්වෙනි සිහිනය…

“සවාමීනි භාග්‍යවතුන් වහන්ස, මම එදා ම උපන් වස්සන් ගෙන් දෙනුන් කිරි බොනවා දැක්කා. ඒක තමයි මම දැක්ක තුන් වෙනි හීනය. මේකේ විපාක මොනවා ද?”

“ම හ රජතුමනි මේ සිහිනයේ කාරණා ත් සිදු වන්නේ අනාගත කාලයේ යි. ඒ අනාගත කාලයේ මිනිසුන් අතර පවතින වැඩිහිටියන්ට ගරු කිරීමේ ගුණය විනාශ වෙලා යනවා. දරුවෝ, මව් පියන්කෙරෙහි සහ නැදිමයිලන් කෙරෙහි ලැජ්ජාභයක් නො මැතිව තමන් ට ම කැමැති කැමති අය ත් සමග අවාහ විවාහ ආදිය කර ගන්නවා. ගෙවල් දොරවල් හදා ගන්නවා. ගෙවල් දොරවල් වල පාලනය තමන් අතට ගන්නවා. කැමති අය විතරක්

වැඩිහිටියන්ට කන්ට බොන්ට අදින්ට පලදින්ට දෙනවා. අකමැති අය නො දී ඉන්නවා. ඒ වැඩිහිටියන්, ගුරු දෙමව්පියන් අනාථ වෙනවා. අසරණ වෙනවා. තමන් ට ස්වාදීනව ජීවත් වෙන්නට නො හැකි තත්වයට පත් වෙනවා. එදා ම උපන් වස්සන් ගෙන් දෙනුන් කිරි බොන්නාක් වගේ දරුවන් ගේ සිත් දිනාගෙන ඔවුන් කියන කියන විදියට ජීවත් වෙන්නට සිදු වෙනවා.‍ මේ කාරණයෙනුත් මහරජතුමනි ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා දැන් හතර වෙනි සිහිනය කියන්න.”

හතර වෙනි සිහිනය….

” ස්වාමීනී, ආරෝප පරිණාහ සම්පන්න, මහ ගොනුන් අගට යොදා තරුණ වූ ගොන් නාම්ඹන් කරත්තවල, බර ඇදීම සඳහා මුලට යොදනවා. ඒ ගොන් නාම්ඹන්, මුලට දැම්මට පස්සේ බර ඇද ගන්නට බැරිව කරෙන් විය ගහ පැත්තකට දමා සිටිනවා මම දැක්කා. ඒ නිසා ගැල් කරුවන්ට කැමති තැනකට ගිහින් වෙළහෙළඳාම් කටයුතු ආදිය සාර්ථක කර ගන්නට පුලුවන් වුණේ නැහැ. මේක තමයි මම දැක්ක හතර වෙනි හීනය. ස්වාමීනී, මේකේ විපාක කොහොම ද?”

” මහරජතුමනි, මේ සිහිනයේ කාරණා ත් අනාග‍යේ අධාර්මිෂ්ඨ වූ රජදරුවන් ගේ කාලයේ තමයි ඇති වෙන්නේ. අනාගතයේ පහළ වෙන අධාර්මිෂ්ඨ වූ කුසලයෙන් තොර වූ රජදරුවෝ, නුවණැති වූ පරම්පරාවන් ගෙන් පැවැත එන, ඒ ඒ කටයුත්ත සාර්ථක ව කරන්නට දක්ෂ වූ මහා අමාත්‍ය වරුවන්ට යස පිරිවර දෙන්නේ නැහැ. රාජ කාර්යයන් විචාරණ, ස්ථානෝචිත ප්‍රඥා ඇති, නඩු විස‍ඳන්නට දක්ෂ වූ, පුරාණ පරම්පරාවලින් පැවත එන, වයෝවෘද්ධ අමාත්‍යයන් අධිකරණය කටයුතු වලට යොදවන්නේ නැහැ. ඔවුන්ට විරුද්ධ වූ බාල අමාත්‍යයින්ට යස පිරිවර ලබා දෙනවා. ඒ වගේ ම බාල වූ පිරිස් අධිකරණයන් ගේ යොදවනවා. ඒ තරුණ අමාත්‍යවරු රාජකාරි කටයුතු දන්නෙ ත් නැහැ. යුක්තිය අයුක්තිය

දන්නෙත් නැහැ. තමන්ට දුන් යසස දරා ගන්නට ත් ඔවුන්ට බැහැ.

මහලු නුවණැති අමාත්‍යවරු ත්, තමන්ට යසස් නො ලැබීම නිසා, රාජකාරි කටයුතු කරන්නට හැකියාව තිබුණ ත්, “දැන් අපිට මේ රාජකාරි වලින් මොන වැඩක් ද? අපි දැන් යන්ට යමු, මේ බාල ඇමතිවරු ම ඒ රාජකාරි කරාවි” කියලා කළ යුතු රාජකාර්යයන් කරන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන් ගැල් බර උහුලන්ට අසමත් ගොන් නාම්බන් ගැල් හිසෙහි යෙදුවා වගේ, ගැල් බර උහුලන්ට සමත් වූ මහ ගොනුන් අගට යෙදුවා වගේ ඒ රජ දරුවන්ට පරිහාණියක් ම යි සිද්ධ වෙන්නේ. මේ කාරණයෙන් ඔබට බයක් ඇති වන්නේ නැහැ. ඒ නිසා පස් වෙනි සිහිනය ත් කියන්න.”

ඉතින් කොසොල් රජතුමා තමන් දුටු පස්වෙනි සිහිනය ගැන ත් බුදු රජාණන් වහන්සේ ට මේ විදියට ප්‍රකාශ කළා.

“සවාමීනි, මම දෙපැත්තෙන් ම කටවල් දෙකක් තියෙන අශ්වයෙක් ව දැක්කා. ඒ අශ්වයාට ඒ කටවල් දෙකෙන් ම කන්න පුලුවනි. ඉතින් ඒ අශ්වයා දෙ‍පැත්තෙන් ම කනවා. මේක තමයි මම දැක්ක පස්වෙනි හීනය. මේ හීනයේ විපාක මොනවා ද?”

“මහරජතුමනි, මේ හීන‍යේ කරුණු ත් අනාගතයේ අධර්මිෂ්ඨ වූ රජදරුවන් කාලයේ තමයි ඇති වන්නේ. අනාගතයෙහි අධාර්මිෂ්ඨවූ අඥාන වූ රජදරුවෝ තමනුත් අධර්මිෂ්ඨ වෙලා අධර්මිෂ්ඨ මිනිසුන් ව නඩු විසඳීම පිණිස, අධිකරණ වල යොදවනවා. ඒ මිනිස්සුන්ට කුසල් අකුසල් ගැන වැටහීමක් නැහැ. ඒ අය අධිකරණ ශාලාවේ විනිශ්චය කරන්නට ගිහින්, පැමිණිලි කරුවන් අතින් වගේ ම විත්ති කරුවන් අතිනුත් අල්ලස් ගන්නවා. හරියට කටවල් දෙකකින් කන අශ්වයා වගේ දෙපැත්තෙන් ම අල්ලස් කනවා. ‍මේ හීනය නිසා ඔබට භයක් ඇති වන්නේ නැහැ. හය වෙනි සිහිනය ත් කියන්න.”

එතකොට කොසොල් රතුමා තමන් දැක්ක හය වෙනි සිහිනය මේ විදියට ප්‍රකාශ කළා.

“ස්වාමීනි, මහජනයා ලක්‍ෂයක් වටිනා රන්තලියක් අරගෙන මේක මැද මුත්‍රා කරන්ට යැ යි කියා, එක්තරා නාකි නරියෙක් අසල ඒ තලිය තැබුවා. ඒ නාකි කැනහිලා ත් ඒ ඝනරන් තලියේ මුත්‍රා කළා. මේක තමයි මම දැක්ක හය වෙනි හීනය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මේකට විපාක මොනවා ද?”

“රජතුමනි, මේ සිහිනයට ත් විපාක අනාගතයේ ම යි සිදු වන්නේ. මහරජ අනාගතයෙහි ජාතිසමපන්න නො වන්නා වූ අධර්මිෂඨ රජදරුවෝ ජාති සමපන්න කුලපුත්‍රයන්ට ‘මොවුන් අපට කිසියම් අනතුරක් කරයි දෝ..?’ කියන සැකයෙන් යුතු ව යසස් ලබා දෙන්නේ නැහැ. ජාති සම්පන්න නො වන අයට යසස් ලබා දෙනවා. ඒ පිරිස් ම වර්ධනය කරනවා. මේ නිසා මහා සම්පත් ඇති ජාතිසම්පන්න මිනිසුන්ට ජීවත් වී ගන්නට නො හැකි වෙනවා. ඒ නිසා ඔවුන් ජීවත් වීම පිණිස, ජාති සම්පන්න නො වන අයට දූ දරුවන් පාවා දෙනවා. මේ විදියට ඒ ජාති සම්පන්න කුලදූවරුන්, ජාති සම්පන්න නො වන අය ත් සමග කරන සංවාසය හරියට නාකි හිවලෙක් රන්තලියක මූත්‍රා කරනවා වගෙ යි. මේ සිහිනයෙනු ත් ඔබට නම් භයක් ඇති වන්නේ නැහැ. එම නිසා හත් වැනි සිහිනය ත් ප්‍රකාශ කරන්න.”

“සවාමීනි භාග්‍යවතුන් වහන්ස, එක මිනිහෙක් ලනුවක් අඹර අඹරා තමන් ගේ පාමුල තබනවා. ඒ පුරුෂයා ඉඳගෙන හිටපු පුටුව යට වැතිරිලා ඉන්න හැකිලුනු කුස ඇති හිවල් දේනුවක්, ඒ පුරුෂයාට නො දැනෙන විදියට ඒ ලනුව කනවා. මේක තමයි මම දැක්ක හත් වෙනි හීනය. ස්වාමීනි, මේ මගේ හත්වෙනි හීනයට විපාක මොනවා ද?

“මහරජ, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගත‍යේ ම යි. මහරජතුමනි අනාගතයේ සත්‍රීන් පුරුෂයන් කෙරෙහි ලොල් වෙනවා. ලස්සනට සැරසෙන්නට ලොල් වෙනවා. පාරවල් ගානේ ඇවිද ඇවිද ඉන්න ලොල් වෙනවා. සැප සම්පත් වලට ලොල් වෙනවා. දුශ්ශීල වෙනවා. දුරාචාරයේ හැසිරෙනවා. ඒ විදියට කාමයන්ට ලොල් වුන ස්ත්‍රීන් තමන් ගේ පුරුෂයන් ගොවිතැනින්, වෙළඳාමෙන් ආදියෙන් බොහෝ වෙහෙස මහන්සි වී රැස් කරන ධන සම්පත් ආදිය හොර මිනිසුන් සමග එක් වී, මත් පැන් බොමින්, සැරසෙමින්, සුවඳ ගල්වමින්, මල් පළඳමින්, විනාශ කරනවා. නිවෙස් වල අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු කටයුතු පවා මග හරිනවා. ඔවුන් විමසිලිමත් වන්නේ සොර සැමියන්‍ ‍ගේ යාම් ඊම් ආදිය කෙරෙහි යි. වැපිරීමට තිබෙන ධන ධාන්‍ය ආදිය පවා වැය කරමින් සොර සැමියන්ට කෑම් බීම් ආදිය සපයනවා. සිය ස්වාමියා වෙහෙස වී රැස් කරන ධනය සොර මිනිසුන් සමග එක් වී ඒ අයුරින් කා දමනවා. එය හරියට ලණුව අඹරන මිනිසා‍ ගේ පුටුව යට සිටින කැනහිල් දේනුව හොරෙන් ම ඒ වර මන්ද කා දමනවා වගෙයි. මේ කාරණයෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා අටවැනි සිහිනය ත් කියන්න.”

ඉතින් කොසොල් රජතුමා තමන් දුටු අට වෙනි සිහිනය ගැනත් කියන්නට පටන් ගත්තා.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාලිගා වේ දොරකඩ පැන් පිරුණු එක විශාල කලයක් තිබ්බා. ඒ කලේ වටේට තවත් හිස් කල ගොඩක් තබා තිබුණා. ක්‍ෂත්‍රීය බ්‍රාහමණ වෛශ්‍ය ශුද්‍ර කියන මේ සතර කුල වල මිනිසුන් අට දිසාවෙන් ම කලවලට වතුර අරගෙන ඇවිත් අර පැන්පිරී තිබුණු විශාල පිරුණු කලය ම පුරවනවා. ඒ විදියට පැන් වත් කර‍නකොට වත් කරන වත් කරන පැන් පිරී ඉතිරි ඉතිරී ගලා ගෙන යනව. ඒත් ආයි ආයිමත් ඒ පිරුණු කලේට ම පැන් වත් කරනවා. හිස් වූ කල දිහා බලන කෙනෙක් වත් නැහැ. මේක තමයි මම දැක්ක අටවෙනි හීනය. ස්වාමීනී, මේ හීනයට විපාක මොනවා ද?”

“මහරජතුමනි, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගතයේ ම යි. අනා‍ගතයේ ලෝකය පිරිහිලා යනවා. රටරාජ්‍ය දුප්පත් වෙනවා. රජදරුවනුත් දුප්පත් වෙලා අකුසලයට බර වෙනවා. යම් රජ කෙනෙක් ඉසුරුමත් ව වාසය කරනවා නම් ඔහු ගේ භාණ්ඩාගාරයේ පවා කහවණු ලක්ෂයක් වගේ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඒ රජවරු මේ විදියට දුප්පත් වුනා ම ගම් රට වාසී මිනිසුන් ලවා තමන් ගේ ම වැඩකටයුතු කර්මාන්ත ආදිය කරවනවා. රාජකාරි වලින් මිනිසුන් පීඩාවට පත් වෙනවා. ඒ විදියට පීඩාවට පත් වෙලා තමන් ගේ කර්මාන්ත අත්හැර දමලා රජ දරුවන් උදේසා ම වී, මුං, තල ආදී දේ ත් අනෙකු ත් වන ආරාම මල් ඵල වැල ආදියත් වගාදිගා කරනවා. රජ දරුවන් වෙනුවෙන් ම සේවය කරනවා. ගොවිතැන් බත් වලින් ලැබෙන වී ආදී දේ අරගෙන ගොස් රජ්ජුරුවන් ගේ ම භාණ්ඩාගාරය ‍පුරවනවා. තමන් ගේ ගෙදර හිස් වී ගිය කොටුගුල් ආදිය දිහා බලන්නෙවත් නැහැ. ඒක හරියට හිස් වූ කල දිහා නො බලා, පැන් පිරුණු කලයට ම පැන් පුරවනවා වගෙ යි. මේ සිහිනය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා නව වෙනි හීනය ත් කියන්න. “

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, පඤ්ච වර්ණ නෙලුම් වලින් යුක්ත ගැඹුරු හැම පැත්තෙන් ම තොටුපල තිබෙන පොකුණක් දැක්කා. ඒ පොකුණට හැම පැත්තකින් ම සිව් පා දෙපා සතුන් බැහැලා පැන් බොනවා. ඒ විලේ ගැඹුරු වූ මැද වතුර කැළඹිලා මඩ වෙලා තිබුණා. නමුත් ඒ විලේ සතුන් බහින ඉවුර හරියේ වතුර නො කැළඹී, හොඳට පෑදිලා තිබුණා. මේක තමයි මම දැක්ක නව වෙනි හීනය. ස්වාමීනි, මේ හීනයේ විපාක මොනවා ද?”

” මහරජ, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගතයේ යි. අනාගතයේ රජවරු අධාර්මික වෙනවා. සතර අගතියට ගොස් රාජ්‍යපාලනය සිදු කරනවා. ධාර්මික ව කටයුතු විසඳන්නේ නැහැ. අල්ලස් ගන්නවා. ධන ලෝලී වෙනවා. රට වැසියන් කෙරෙහි ශාන්තියක් දයානුකම්පාවක් දක්වන්නේ නැහැ. සැඩ ඵරුස විදියට මිනිසුන්ව පීඩාවට පත් කරමින් අය බදු ගනිමින් මිනිසුන් ගේ ධනය ලබා ගන්නවා. මිනිසුන් අය බදු ගෙවා ගන්නට නො හැකි ව ගම් නියම් ගම් ආදිය හැර දමා දුර ඈත ප්‍රදේශවලට ගොස් ජීවත් වෙන්නට පටන් ගන්නවා. මධ්‍යම ජනපද ශූන්‍ය වී යනවා. ප්‍රත්‍යන්ත දුර ඈත ජනපද මිනිසුන් ගෙන් පිරී යනවා. ඒක හරියට පොකුණේ මැද වතුර මඩ වී ඉවුරු සමීපයේ පෑදී පවතිනවා වගෙ යි. මේ හේතුවෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා දස වෙනි සිහිනය ත් ප්‍රකාශ කරන්න.”

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, එක ම හැලියේ ඉදෙන බත අපාක වෙනවා දැක්කා. අපාක වෙනවා කියන්නේ පලා බෙදා තැබුවාක් වගේ බත ඉදෙන්නේ තුන් විදියකට යි. ඒ කියන්නේ එක කොටසක් හොඳට ම බෙරි වෙනවා. තවත් කොටසක් නො තැම්බුණු සහල් වලින් යුක්ත යි. අනෙක් කොටස හොඳට ඉදෙනවා. එක ම බත් හැලියේ බෙරි වුණ බතු යි, හාලු යි, හොඳට ඉදුනු බතු යි කියන තුන් කොටස ම තියෙන විදියට තමයි ඉදෙන්නේ. මේ සිහිනයේ විපාක මොනවා ද ස්වාමීනි?”

“මහරජතුමනි, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගත‍යේ යි. අනාගතයේ රජවරු අධාර්මික වෙනවා. රජවරු අධාර්මික වූ විට රාජකාරිවල යෙදී සිටින පුද්ගලයින් ද, බ්‍රාහ්මණ ගෘහපතිවරු ද, ගම් නියම් ගම් වැසියන් ද, ශ්‍රමණබ්‍රාහ්මණයින් ද ඇතුළු මේ සියලු මිනිසුන් අධාර්මික වෙනවා. එතකොට ඒ පිරිස් වලට අරක්ගත් දේවතාවන්, බලි බිලි පිලිගන්නා දේවතාවන්, වෘක්ෂ දේවතාවන්, ආකාසවාසී දේවතාවන්, ඇතුළු දේවිවරුද අධාර්මික වෙනවා. අධාර්මික රජවරුන් ගේ ගේ රටවල් වල විශම වූ මහා සුළං හමා යනවා. ඒ සුළං ආකාසයේ පවතින දේවතා විමාන කම්පා කරනවනවා. එම විමාන කම්පා වූ විට ඒ විමන් වැසි දෙවියන් කුපිත වෙනවා. කුපිත වී වැසි වසින්නට නො දෙනවා. වසින් වැස්සක් වුණත් මුලු රටට ම එක වගේ වහින්නේ නැහැ. වැස්සක් වැස්සත්, ගොවිතැන් ආදියට උපකාර වන විදියට වහින්නේ නැහැ. නගරයේ යම් සේ ද, ඒ ආකාරයෙන් ම පිටිසර ත්, වැව් පොකුණු විල් වලටත් එක වගේ වහින්නේ නැහැ. වැව් ඉස්මත්තට වහිනවා නම් වැව යට ප්‍රදේශයට වසින්නේ නැහැ. යට ප්‍රදේශයට වසිනවා නම් වැව් ඉස්මත්තට වහින්නේ නැහැ. සමහර ප්‍රදේශවල ගොයම් අධික වර්ෂාව නිසා විනාශ වී යනවා. සමහර ප්‍රදේශවල ගොයම් වැස්ස නැති නිසා මැරී යනවා. සමහර ප්‍රදේශවල පමණක් සම වර්ෂාව ඇති වී හොඳින් අස්වනු ලැබෙනවා. මේ විදියට එක ම රජ ‍කෙනෙකුගේ රාජ්‍යයේ වපුරණ ලද ගොයම් එක හැලියේ පැහෙන බත් තුන් කොටසක් වූවා ක් වගේ තුන් විදියකට තමයි පැහෙන්නේ. මේ කාරණය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා එකොළොස් වන හීනය ත් කියන්න.


http://dhammamedicine.net/category/%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A2%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1/

Sunday, May 15, 2011

බැතියෙන් වඳිමු

ජය ජය ධර්මරාජ
ජන කෘත ශර්ම පූජ
අසදෘශ බුද්ධ ලීල
අති පාරිශුද්ධ ශීල
මහදන මහා පුදකළ දම් රජ මුණිඳු
අසදිස බුදු සිරින් ලෝ අගපත් මුණිඳු
දිලිසෙන සදා පිරිසිඳු සිල්වත් මුණිඳු
බැතියෙන් වඳිමු එසමන් බහදුරු මුණිඳු

Saturday, May 14, 2011

බුද්ධ ගද්‍යයෙන් විහිදෙන බුදුගුණ සුවඳ..........

නමඃ සමන්ත භද්‍රාය
සර්වගොචර චක්ෂුෂෙ
කරුණාමෘත කල්ලොල
සින්ධවෙ සූර්යබන්ධවෙ.

සියලු ලොව දකින දිවඇස් ලද මුණිඳු
කුළුණු ගුණ අමා පිරි සයුරකි මුණිඳු
රිවි කුල අඹර හිරුමෙන් බැබලුණ මුණිඳු
බැතියෙන් වඳිමු එසමන් බහදුරු මුණිඳු

සම්බුද්ධයන් වහන්සේ

"එකපුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමනො
උප්පජ්ජති අච්ඡරිය මනුස්සො කතමො එක පුග්ගලො
අරහං සම්මා සම්බුද්ධො"

දෙවියන් සහිත ලෝකයාට හිත වැඩ පිණිස අනුකම්පා පිණිස ලොව උපදින එකම අසිරිමත් පුද්ගලයා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. උන්වහන්සේ අසමසමයහ. අප්‍රති පුද්ගලයහ. අසහායහ. දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ අචින්ත්‍ය පුද්ගලයෙකි.

Friday, April 22, 2011

ආයුබෝවන්...!!!!!! බුහා.........

කලු කුමාරයා වන මම මෙතැන් පටන් මාගේ බ්ලොග් සටහන අරඹමි.